සදාකාලික ආදරයක් වෙනුවෙන් ඉවසීම වැදගත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

සදාකාලික ආදරයක් වෙනුවෙන් ඉවසීම වැදගත්

සදාකාලික ආදරයක් වෙනුවෙන් ඉවසීම වැදගත්

මිනිසුන් නිතරම නොයෙකුත් ප්‍රශ්න වලින් පීඩා විඳියි. ස්වාභාවික විපත්, භයානක ලෙඩ රෝග, හදිසි අනතුරු, යුද කෝලහාල, දුර්භික්ෂ ආදී අනේකවිධ කරදර වලින් මිනිසුන් නිතරම පීඩා විඳී. එවන් පීඩා මතුව එන විට බොහෝ මිනිසුන් ඉතාමත් අසරණ භාවයට පත් වෙයි. මේ මොන දේ වුණත් කාන්තාවක් වී උපන් ඔබ බොහොම ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. ඉවසීම පුරුදු වීම කාන්තාවකට ඉතාමත් වැදගත්. එක් අස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ මේ ලොව උතුම්ම රත්නය කාන්තාව බවයි. හැබැයි ඒ උසස්ම රත්නය වෙන්න කාන්තාවකට අනිවාර්යයෙන්ම ඉවසීම තියෙන්න ඕනේ. එය තමයි ඇය සතු වටිනාම ගුණාංගය.

සාමාන්‍යයෙන් පිරිමින්ට තියනවා පිරිමි ගති. ගැහැනුන්ට තියනවා ආවේණික ගැහැණු ගති. ඇත්ත වශයෙන්ම කාන්තාව සහ පිරිමියා අතර වෙනස මේකයි. පිරිමියෙකු තුළ පිරිමි ගති ලක්ෂණ නැතිනම් ඔහු සැබෑ පිරිමියෙකු නොවේ. කාන්තාවකට උරුම ගැහැණු ගති පැවතුම් නැතිනම් ඇය ගැහැනියක ද නොවේ. ලෝකයේ කිසිදු මනුෂ්‍යයෙක් ගැහැනියක් වගේ පිරිමියෙකුටත්, පිරිමියෙකු වගේ ගැහැනියකටත් කැමති නොවේ. සාමාන්‍යයෙන් විවාහ ජීවිතයක් සාර්ථක කර ගන්නවා කියන්නේ නොගැලපෙන දෙදෙනෙක් එකතුවී ගලපා ගැනීමක්. 100% ක් අදහස් ගැළපෙන හෝ වෙන යම් දේවල් ගැලපෙන දෙදෙනෙකු කිසිදා හමුනොවේ. සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ දෙදෙනා එක්ව නොගැලපීම් ඉවසිලිවන්තව ගලපා ගැනීම තමයි. සියයට සියයක් ගැලපෙනවා යැයි සිතා විවාහ වූ ඇතමුන්ගේ විවාහ අසාර්ථක වුණු පුවත් අප සමාජයෙන් ඕනෑතරම් හමුවේ. ඒ ඔවුන් තමන් විසින්ම ජීවිත අවුල් කර ගැනීම නිසාවෙනි. මෙම තත්ත්වයට පිරිමියාට වඩා කාන්තාවන්ගේ මැදිහත්වීම බලපාන බව ඔබ දන්නවාද. පව්ලක් කැඩෙන්න බිඳෙන්න විසිරෙන්න ඔබේ තීන්දු තීරණ ප්‍රබල යි.

ඔබේ සැමියා වැරදි කරන කෙනෙක් කියා සිතන්න. ඒත් ඔබ ආවේගශීලී වුනොත් කේන්ති ගතහොත් ඒ තත්ත්වය දෙගුණ තෙගුණ විය හැකියි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ බිරිඳක් තම ස්වාමිපුරුෂයාට මවක් ලෙසින් සැලකිය යුතු බවයි. එහිදී ලොකු ඉවසීමක් තිබිය යුතුයි. ඉවසීම ප්‍රගුණ කළ නොහැකි වූ විට ඇති වන්නේ මතභේද පමණි. අවසානයේදී වෙන්වීම නමැති කාරණය ඉස්මතු වේ. එය බටහිර සමාජයෙන් අපට ලැබුන මහා අවාසනාවන්ත දෙයක්. මෙහිදී ඔබ විසින් තේරුම් ගත යුත්තේ වෙන් වීම ඉතාමත් පහසු බවත් ශක්තිමත් සබඳතාවයක් ගොඩනගා ගැනීම ඉතාමත් අමාරු බවත් ය. එම නිසාවෙන් ගැහැනියක් සියල්ලක්ම ඉදිරියේ ඉවසීම ඉතාමත්ම වැදගත්. ඔබ ඔබගේ යුතුකම් වගකීම් ඉටු කරගෙන යන ගමනේ දී ඔවුන් තුලින්ම ඔබට අයිතිවාසිකම් හිමි කර දේවි.

ප්‍රේමය තුල සැමවිටම ආත්මාර්ථය තිබිය යුතු නැති අතර තිබිය යුත්තේ යහපත් බැඳීමක් පමණි. ඉවසීමෙන් මේ බැඳීම තේරුම් අරගත් තැන ආදර බන්ධනය රැකී පවතී. සැබෑ ආදර සම්බන්ධතාවයක් ජීවිතයේ කෙළවර දක්වාම පවත්වාගෙන යා හැකියි. ඔබගේ ජීවිතයට කෙනෙක් ළං වන විට එය ආදරය ද නැත්නම් වෙනත් දෙයක්ද කියා හොඳින් තේරුම් ගත යුතුයි. එය තේරුම් ගැනීමට නොහැකි වුණු ගැහැනිය ජීවිතයේ අතරමං වෙයි. මේ සියල්ලටම ඉවසීම අවශ්‍යයි. ඉවසිලිවන්තව ගොඩනගා ගන්නා ආදරය සදාකාලිකයි.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source: Internet

views

1008 Views

Comments

arrow-up