'වසූදා' නමින් රිදී තිරයට ආ මීනා කුමාරි

දීපානි මීනා කුමාරි පෙරේරා කිව්ව ගමන් ඔබට ඇය මතක් නොවනු ඇත. නමුත් මීනා කුමාරි කී පමණින්
බොහෝ දෙනා ඇය හඳුනන බවට සැකයක් නැහැ. පාසල් සිසුවියක වී සිටි සමයේදී ඇය ජනප්‍රිය වී සිටියේ
දීපානි පෙරේරා ලෙසිනි.
ඒ නාමයෙන් ඇය ක්‍රීඩා අංශවල පවා නම් දිනන්නට වරම් ලද්දීය. පාසල් කාලයේ දීපානි පෙරේරා
ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇය දැල්පන්දු හා බැඩ්මින්ටන් ක්‍රීඩාවලින් ජාතික තලයේ රන් පදක්කම්ලාභිනියක්
බවට පත්වූවාය. එවකට ඇය පිළිබඳ හා හා පුරා කියා පුවත්පතක ලිපියක් පළ වූයේ ඇය දැක්වූ ක්‍රීඩා
දක්‍ෂතාව නිසාවෙනි.
"ඒ යුගයේ මම ක්‍රීඩාවට යොමු වෙලා හිටියා. මම පරස්පර ක්‍රීඩා දෙකකටම රන් පදක්කම් දිනාගත්ත
නිසා එහි විශේෂත්වයක් තිබුණා. ඒ වගේම ඒ ගැන කතා කරන්න ගත්තා. ඉන්ද්‍රනාථ තේනුවර ගත්ත මගේ
පින්තූරයක් එවකට සිරිකත පුවත්පතේ පළ වුණාට පස්සේ මගේ ලිපිනයත් පුවත්පතේ පළ වුණා.
ඒත් එක්ක මට ලිපිවලින් ප්‍රතිචාර එන්න ගත්තා. තාමත් ඒ ආපු ලිපි මං ළඟ එකතු වෙලා තියෙනවා.
ගාල්ල, කරාපිටියේ හිටපු නංගි කෙනෙක් මට දිගටම ලියුම් එවන්න ගත්තා. ඇත්තටම ඒක සුවිශේෂී දෙයක්
වුණා. ඒ වගේ බොහෝ දෙනෙක් මට ලිපිවලින් ප්‍රතිචාර දැක්වූවා.
ඇය පාසලේ විවිධ බාහිර ක්‍රියාකාරකම්වලින් දක්‍ෂතා පෙන් වූ තැනැත්තියක වූවාය. ක්‍රීඩාව සේම
නර්තනයට හා ගායනයටද ඇය දක්‍ෂතා පෙන්වූවාය. ඔය අතරතුර ඇය පාසල් වේදිකා රංගනයටද
ප්‍රවිෂ්ට වූවාය.
“මගේ පාසල විශාඛා විද්‍යාලය. මම පාසලේ විවිධ අංශවලට සම්බන්ධ වෙලා තිබුණත් අහම්බෙන් තමයි
රංගනයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
මම මුලින්ම සම්බන්ධ වුණේ පාසල් වේදිකාවට. මම සම්බන්ධ වුණ පළමු වේදිකා නාට්‍යයටම හොඳම නිළිය
සම්මානය මට ලැබුණා. මම කිසිසේත් බලාපොරොත්තු නොවුණු දෙයක් වුණත් එය මට හොඳ අවස්ථාවක් වුණා.
එදා විනිශ්චය මණ්ඩලය ලෙස හිටියේ ජේයෂ්ඨ රංගන ශිල්පීන්, ශිල්පිනියන් වූ හෙන්රි ජයසේන මහත්මයා,
මානෙල් ජයසේන මහත්මිය සහ හයිසින්ත් විජේරත්න මහත්මිය.
දවස් දෙකකින් වගේ පුහුණුවීම් කරලා තමයි මම ඒ නාට්‍යයට සම්බන්ධ වුණේ. ඒ සම්මානය ලබලා
වේදිකාවෙන් බහිද්දී ඒ ප්‍රවීණ කලාකරුවන් තුන්දෙනා ලබාදුන් අගය කිරීම මට වාසනාවක් ලෙස දැනුණේ.
ඔවුන් ජේයෂ්ඨ ශිල්පීන් වුණාට එදා ඒ නාට්‍ය රසිකයන් ලෙස නරඹලා, ලබාදුන්න අගය කිරීම මට අමතක
වෙන්නේ නැහැ.
ඒ වගේම අදටත් මගේ පළමු රසික රසිකාවියෝ ඉන්නේ මගේ පාසල. පාසල තුළ මට බොහෝ දෙනාගේ
ආදරය ලැබුණා. පාසල් කාලේ මාව ප්‍රසිද්ධ වුණේ දීපානි පෙරේරා විධියට. රංගනයට ආවට පස්සේ
මාව බොහෝ දෙනා හඳුනාගත්තේ මීනා කුමාරි ලෙසින්. අදටත් මට මුණගැහෙන පාසල් යාළුවෝ මම ඉන්න
තැන දැකලා සතුටු වෙනවා”.
මීනා කුමාරි පාසල් වේදිකාවෙන් සිය හැකියාව ඔපමට්ටම් කරගෙන ප්‍රසිද්ධ වේදිකාවෙන් කලඑළි
බැස්සාය. සුගතපාල සිල්වා මහතාගේ 'සාන්තුවර සෙබළාණෝ' ඇය සම්බන්ධ වූ පළමු ප්‍රසිද්ධ වේදිකා
නිමැවුම විය.
"වේදිකාව නිසා මට තවත් රසික පිරිසක් එකතු වුණා. මාව ඒ නාට්‍යයෙන් දැකලා රසිකයෙක් වුණ
කෙනෙක් තමයි මගේ ජීවිතයටත් සම්බන්ධ වුණේ. ඔහු ඒ නාට්‍යයේ මාව දැකලා අවුරුදු 6කට පස්සේ
නාට්‍යයකට සම්බන්ධ කරගන්න මාව හොයාගෙන ආවා. ඒ නාට්‍යයේ මගේ ගායනයන් පවා බොහෝ අය
අගය කළා.
ඒ නාට්‍යයේදී මාව දැකලා කේමදාස මාස්ටර්, ජැක්සන් ඇන්තනි මහත්මයා පවා සුගතපාල සර්ගෙන්
අහලා තිබ්බා "කොහෙන්ද මේ කෙල්ල සොයා ගත්තේ" කියලා. මගේ උස, සිහින් සිරුර නිසා ඒ කාලේ
මාව වේදිකාවට ගැළපෙන හැඩයක් කියලා සුගතපාල සර් කියලා තියෙනවා.
දක්‍ෂතාවයෙන්, සුන්දරත්වයෙන් පිරුණු මීනා කුමාරි නම්වූ ඇය පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ ආරියරත්න
ඇතුගල අධ්‍යක්‍ෂණය කළ 'තුන්බිය' ටෙලි නිර්මාණයෙනි. සිනමාවෙන් ඇය කලඑළි බසින්නේ වසන්ත
ඔබේසේකර අධ්‍යක්‍ෂණය කළ 'අසිනි වර්ෂා' චිත්‍රපටයෙනි.
සුවිශේෂී දක්‍ෂතා සපිරි අධ්‍යක්‍ෂවරුන්ගේ සුවිශේෂී නිර්මාණවලින් කලා ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ටය ලැබූ
ඇය ඒ ඒ නිර්මාණවලින් සිය හැකියාව මනාව පෙන්නුම් කළාය. එවන් නිර්මාණ තුළින් කරළියට එන්නට ලැබීම
ඇය තකන්නේ වාසනාවක් ලෙසිනි. ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණයන්ගේ ඇසුර පවා එම නිර්මාණ තුළදී
ඇයට හිමිවිය.
මීනා කුමාරි පුංචි තිරයෙන් බොහෝ දෙනා වැලඳ ගත්තේ වසූදා ටෙලි නිර්මාණයෙනි. එතෙක් සිටි රසික
පිරිසටත් වඩා දෙගුණ තෙගුණ වශයෙන් රසිකයන් ඇයට ළං වූයේ වසර හතරක් පුරා රසිකයන්ට ළං වූ වසූදා
චරිතය නිසාවෙනි.
වසූදා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සෙත් මට ලියුම් ගොඩක් එන්න ගත්තා. ඒ එකතු වුණ ලියුම් ෆයිල්
පිටින් මං ළඟ තියෙනවා. මමත් ඒ ලිපිවලට හැකි විධියට පිළිතුරු ලිව්වා.
නමුත් මට ලිපිවලින් ප්‍රතිචාර දක්වන්න නොහැකි වීම නිසා මගේ රසිකයන්ගේ හිත රිදුණා නම් ඒකට
සමාවෙන්න ඕනේ. වසූදා ටෙලි නාට්‍ය නිසා මට ලැබුණු ප්‍රතිචාර හිතාගන්න බැරි තරම්. වසූදා
කියන්නේ ලංකාවේ ප්‍රථම දීර්ඝ ටෙලි නාට්‍යය.
මගේ රංගන ජීවිතයේදීත් එය සුවිශේෂී කඩඉමක් වුණා. මට අදටත් බොහෝ අය කතා කරන්නේ 'වසූදා'
කියලා. මට මතකයි ඒ නාට්‍ය කරන කාලේ මම පිට පළාත්වල රූගත කිරීම්වලට ගිය අවස්ථාවල ඒ ගම්වල
ඉන්න අය මගේ අත අල්ලගෙන 'මේ ඔයාමද' කියලා අහනවා. ඒ නාට්‍යය කරන කාලේ මම නෑදෑයෝ
එක්ක මිහින්තලේ වන්දනා කරන්න ගිය අවස්ථාවක එතන හිටපු බොහෝ දෙනා මාත් එක්ක ඇවිත් කතා කරලා
වසූදාගේ චරිතය ගැන කතා කළා.
බොහෝ අය වසූදාගේ චරිතය එයාලගේ ජීවිතයට ළං වුණ හැටි කියලා ලියුම් එව්වා. ඒ චරිතය බලලා
සමහර අය ජීවිතය හදාගෙන තිබුණා. සමහර අය වසූදාගේ ෆොටෝ එක ෆ්‍රේම් කරලා ගෙදර තියාගෙන
ඉඳලා තියෙනවා. සමහරු කියලා තියෙනවා වසූදාගේ චරිතය ඉවසනවා වැඩියි කියලත්.
මෙච්චර ඉවසන චරිත ඉන්න බෑ කියලත් සමහරු කියලා තිබ්බා. ඒ ඉවසීමම තමයි රසිකයන්ට දැනුණේ.
සමහර කාන්තාවෝ වසූදාගේ චරිතය ගැන හිතලා මට කතා කරලා එයාලගේ ප්‍රශ්න පවා මට කියලා
තියෙනවා. ඒ ප්‍රශ්නවලට මම හැකි විධියට උදවු කරලා තියෙනවා. රංගන ශිල්පිනියක් ලෙස චරිතයකින් ඒ
වගේ රසික පිරිසට යහපතක් කරන්න ලැබීම හරියට වටිනවා."
ඇය තෝරා බේරා ගැනීමක් සමඟ රංගනයේ යහපත් ගමනක් යන සොඳුරු කලාකාරිනියකි. ඇය රසිකයන්ට වඩ
වඩාත් දැනුණේ ඒ නිසාවෙනි.
"මම කැමැතියි මට දැනෙන චරිත කරන්න. මම හිතන්නේ මම කළ චරිතවලින් රසික පිරිස යමක්
ලබාගත්තා. මං කරපු චරිතයක ෆොටෝ එකක් තියාගෙන ඉඳලා සමහර අය ප්‍රශ්නයක් ආවාම ඒ ෆොටෝ
එක බලල හිත හදාගත්තා කිව්වම මට හිතාගන්න බැරිවුණා. වසුදාගේ චරිතයේ ලක්‍ෂණ බොහෝ දෙනෙක්
වැලඳ ගත්තා.
වසූදා සාරිය, වසූදා කණ්ණාඩිය, මාල පවා බොහෝ අය කඩවලින් හොයන්න ගත්තා. සමහර සාරි කඩවල
අය මට කියලා තියෙනවා කාන්තාවෝ ඇවිත් වසූදා සාරිය දෙන්න කියලා ඉල්ලලා තියෙනවා.
මට මතකයි එක අවස්ථාවක මගේ මුහුණ දාලා වසූදා ජුවලරි ෂොප් එක විධියට ෂොප් එකක් පටන් ගන්නත්
මට කතා කළා. ඒ තරම් වසූදා කියන චරිතයට රසික, රසිකාවියන් ආදරය කළා. මම ඒ නිර්මාණය තුළ
නාමයක් ඉතුරු කළා කියලා දැනෙනවා. ලැබුණ ප්‍රතිචාර සහ ලැබෙන ප්‍රතිචාර එක්ක මට තෘප්තියක්
තියෙනවා.
මම කාලයක් ගුවන් හමුදාවේ වැඩ කළ නිසා මට තවත් රසික පිරිසක් එකතු වුණා.
රසිකයෝ නිසා තමයි, ඔවුන් අපට දක්වන ආදරය නිසා තමයි අපි හිනාවෙලා සතුටින් ඉන්නේ. අපි කරන
දෙයින් ඔවුන්ගේ ජීවිතයත් හදාගන්නවා නම් ඒක තමයි අපේ සතුට. වසූදා වගේ නිර්මාණ සිංහල, දමිළ,
මුස්ලිම් කියන හැම ජාතියකම රසික රසිකාවියන් නැරඹුවා. ඒ නිසා මට විවිධ රසික රසිකාවියන්ගේ ආදරය
ලැබුණා.
මීනා ලාංකේය කලා ක්‍ෂේත්‍රයට පමණක් සීමා වූයේ නැත. ඇයට ජාත්‍යන්තර සිනමාව තුළද ඉඩක්
ලැබිණි. සම්මානනීය අධ්‍යක්‍ෂවරයකු වූ සාජි කරුන්ගේ චිත්‍රපටයකට මීනාට සම්බන්ධ වෙන්නට වරම්
ලද්දේ අහම්බයකිනි.
"මට මතකයි 1989 වසරේදී තිබ්බ සිනමා උළෙලකදී මම සාජි කරුන් අධ්‍යක්‍ෂණය කළ 'පිරවි'
චිත්‍රපටය නැරඹුවා. මම කවදාවත් හිතුවේ නැහැ ඔහුගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබෙයි
කියලා. හැඳුනුම්කම් මත අවස්ථා ලැබෙද්දී හැඳුනුම්කමක් නැතිවම මාව එතුමාගේ චිත්‍රපටයේ රඟපාන්න
තෝරාගත්තා.
එය මලයාලම් චිත්‍රපටයක් නිසා මගේ මුහුණුවර ඊට ගැළපෙන නිසා තමයි ඒ චිත්‍රපටයට මාව
තෝරාගත්තේ. මමුති කියන රංගන ශිල්පියා ඇතුළු පිරිසක් එක්ක තමයි මට එයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
රූගත කිරීම් කෙරුණේ ඉන්දියාවේ. චිත්‍රපටය එළියට ආවම ඉන්දියාවේ දමිළ ජනතාව මාව ලංකාවේ මීනා
ලෙස හඳුනාගත්තා. ඉන්දියාවේ රසික පිරිසකුත් ඒ හරහා මට එකතු වුණා. ඒ චිත්‍රපටය ලංකාවෙත් කිහිප
දෙනෙක්ට පෙන්නුවා."
මෑත කාලයේ වුවද මීනා තෝරාගත් නිර්මාණවලින් රසිකයන් අතර ජීවත්වේ. වේදිකාවේ නම් ඇය මේ දිනවල
මුණ ගැසෙන්නේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නිමැවුමෙනි.
"ට්‍රෝජන් කාන්තාවෝ තුළ මට ලැබුණේ සුවිශේෂී චරිතයක්. නැවත නොලැබේයි කියලා හිතෙන චරිතයක්
මට ලැබුණේ. එය ඉන්දියාවේ උළෙලක පවා පෙන්නුවා. එයට ගිය අවස්ථාවේ පවා ඒ චරිතයේ
සුවිශේෂීකම දැකලා බොහෝ දෙනෙක් මාත් එක්ක කතා කළා. ලංකාවෙත් ඒ නාට්‍යය බලපු බොහා්
දෙනෙක් ඒ චරිතය ගැන කතා කළා. මට ලැබෙන ඉහළම සම්මානය තමයි ජනතාවගෙන් ලැබෙන
සම්මානය. රසික රසිකාවියන්ගෙන් මට ඉහළම ඇගයීම් ලැබිලා තියෙනවා."
"මාලිනි ෆොන්සේකා මහත්මිය පවා එක් අවස්ථාවක මට කිව්වා 'මාව හඳුන ගන්නත් බෑ... පොඩි කෙල්ල
වගේ... ඒ ඔයාද ඉන්නේ කියලා..." ඒ චරිතය බොහෝ ප්‍රවීණයන් පවා අගය කළ චරිතයක්.
ඇය රංගනය තුළ යන්නේ හදිසි ගමනක් නොවේ. නමුත් ඇය රසික ආදරය ලබමින් සාර්ථක ගමනක් යන්නියකි.
මීනා කුමාරි නම් සෙනෙහබර කලාකාරිනියට බොහෝ දෙනා ආදරය කරන්නේ ඒ නිසාවෙනි. ඉදිරියේදී ඇය
තවත් නිර්මාණවලින් මුණගැසෙනු ඇත. ඇය ඒ නිර්මාණ තුළින්ද රසික ආදරයේ හිමිකාරිනියක ලෙස කිරුළු දරනු ඇත.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම - හදගැස්ම
Source :- Hiru Gossip
1097 Views
Comments