දරුවන් අපයෝජනයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වෙනවාද

දරුවන් මල් වැනිය. මල් වැනි දරුවන් තලාපෙළා හිංසනයට ලක් කිරීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්ත්වයකි. හිමින් හිමින් පිපෙන්නට වෙර දරන පුංචි දරුවන්ට පිපෙන්නට ඉඩ නොදී තලාපෙලා වධ හිංසා පැමිණවීමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වෙනවාද. අපි අද ඒ ගැන කතා කරමු.
මුදල් වලට හෝ වෙනයම් කිසිම දෙයකට සමාන කිරීමට නොහැකි ලොව ඇති වටිනාම සම්පත දරුවන්ය. මතුයම් දවසක ලොව භාර ගැනීමට සූදානම් වන්නේ ඔවුන්ය. එවන් දරුවන්ට ස්වකීය ආත්ම අභිමානයකින් යුතුව සමාජයේ හැදී වැඩෙන්නට අවශ්‍ය පරිසරය සකස් කර දීම නිරන්තරයෙන්ම වැඩිහිටියන් වශයෙන් ඔබ අප සෑම සියලු දෙනාගේම වගකීමකි. මෙවැනි තත්ත්වයන් වලට අදාළව දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ලොව විවිධ සංවිධාන සහ රාජ්‍යයන් ඒකරාශිවී 1989 නොවැම්බර් මස 20 වැනි දින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පිහිටුවන ලදී. දරුවෙකුට හිමිවිය යුතු අයිතීන් පැහැදිලි කරමින් වගන්ති 54ක පුළුල් විග්‍රහයක් එහි ඇතුළත් කර තිබේ. දරුවෙකුට ඉටුවිය යුතු අයිතීන් සම්බන්ධව එහි ප්‍රධාන අංශ හතරක් තුළින් බෙදා දක්වා ඇති අතර සියලුම දරුවන්ට ජීවත්වීමට ඇති අයිතිය, සංවර්ධන වීමට ඇති අයිතිය, ආරක්ෂා වීමට ඇති අයිතිය සහ සහභාගි වීමට ඇති අයිතිය යන්න ප්‍රධානව දක්වයි. දෙමවුපියන්ගේ ආදරය කරුණාව රැකවරණය සමඟ සතුටින් ගත කරන දරුවන්ට වැඩිහිටියන්ගේ රැකවරණය නිරන්තරයෙන්ම ලැබිය යුතුයි. එසේ නොවුණු අවස්ථා නිසාවෙන් අද වැඩි කතාබහට ලක්ව ඇති මාතෘකා අතරට ළමා අපයෝජන සම්බන්ධ මාතෘකාව ඉහලටම පැමිණ තිබේ.
ළමා අපයෝජනයක් යනු ළමයෙකුගේ එදිනෙදා ජීවිතයේ කායික මානසික හෝ ශාරීරිකව ඔහුගේ හෝ ඇයගේ යහපත්ව සහ මනාව පවත්වා ගන්නා කල් ක්‍රියාවට එරෙහිව සිදු කරනු ලබන අයහපත් ක්‍රියාවකි. වර්තමානයේ දී දරුවන්ගෙන් විශාල කොටසකට ළමා කාලය නිසි පරිදි ගත කිරීමට අවශ්‍ය කරන පහසුකම් නොලැබීම නිසාවෙන් දරුවන්ට එරෙහිව අපයෝජන තත්වයන් ඉහල යාමක් දක්නට ලැබේ. අනාගතයේදී සයිබර් හරහා සිදුවන අපයෝජන වැඩි විය හැකි අතර ඒවා විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ද බලපානු ලබයි. ඒ වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සයිබර ආවේක්ෂණ ඒකකය, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ cyber ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ඒකකය, ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් ඒකකය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සයිබර් ආවේක්ෂණ ඒකකය සහ යුද හමුදාව එකට එකතුව එක කණ්ඩායමක් සාදා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 286 A වගන්තිය යටතේ ළමයින්ට අදාල මෙවැනි ක්‍රියා ප්‍රකාශණ ළඟ තබා ගැනීම, ඒවාට ළමයින් යොදවා ගැනීම ආදී සියල්ලම වරදක් වන නිසා ඔවුන්ට අවුරුදු 2 ට නොඅඩු 10 ට නොවැඩි සිර දඬුවමක් සහ දඩයක්ද නියම කරයි. වීඩියෝගත කිරීමට සහයෝගය ලබාදීම පිහිට පහසුකම් සැපයීමට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ 286 B වගන්තියෙ දඩයක් සහ අවුරුදු දෙකක සිර දඬුවමක් ද නියම කරයි. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ 286 C වගන්තිය යටතේ කිසියම් ළමයෙකු අපයෝජනය කිරීමට ස්ථානයක් සැපයුවහොත් අවුරුදු දෙකක සිර දඬුවමක් සහ දඩයක්ද නියම කරනු ලබයි. අදාල සියළු පාර්ශව 10ක් සමඟ විමසමින් සංශෝධිත ළමා ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට පසුගිය 2019 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ද හිමි වී තිබේ. මෙම වසරේ අප්‍රේල් මාසය වන විට එම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම නිමා වන අතර ඉන් පසුව බලාත්මක කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් සම්පාදනය කරනු ලබයි.
සරු පොළොවට වැටුන බීජයකට කෙමෙන් කෙමෙන් ලපටි පැළයක් බවට පත් වීමට හොඳ පදනමක් අත්‍යවශ්‍ය වන අතර එමෙන්ම දරුවෙකුටද නිසි පදනම වැටෙන්නේ සිය පවුල තුළිනි. එම නිසාවෙන් ඔබගේ දරුවා ආරක්ෂා කර ගැනීමේ ඉහළම වගකීමක් පැවරෙන්නේ දෙමව්පියන් වශයෙන් ඔබට බව මතකයේ තබා ගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
588 Views
Comments