අරපරිස්සම් ගෘහණියන්ට අඩු වියදම් නවීන දර ලිප්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

අරපරිස්සම් ගෘහණියන්ට අඩු වියදම් නවීන දර ලිප්

අරපරිස්සම් ගෘහණියන්ට අඩු වියදම් නවීන දර ලිප්

හදිසියේම රට තුළ උද්ගත වූ තත්ත්වය නිසාවෙන් බොහෝ දුරට සෑම දෙනාගේම පසුම්බියටත් ටිකක් අපහසුයි නේද ? ඒ හින්දාම නිවසේ ඇති සම්පත් අරපරිස්සමෙන් භාවිතා කිරීමේ වැදගත්කම කවරදාකටත් වඩා දැන් මතුවෙලා. වර්තමානය වන විට සෑම ගෘහණියක්ම ගෑස් ලිපක් භාවිතයට තමයි හුරුවී තිබෙන්නේ. තවත් සමහර ගෘහණියන් විදුලියෙන් ක්‍රියාකරන උදුන් භාවිතයටත් යොමු වී තිබේ. තවත් සමහර උදුන් වර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් මෙන්ම විදුලි බලයත් අවශ්‍ය වේ. අතීතයේදී අපේ නිවෙස්වල මව්වරුන් තුන් වේලටම කෑම ඉව්වේ අද වගේ ගෑස් ලිප් භාවිතයෙන් නම් නොවෙයි. දර ලිප ළඟ වාඩිවෙලා දහදිය වගුරමින් දුම් වදිමින් දෑත් වල දැලි තවරගෙන තමයි අතීතයේදී අම්මලා ආහාර පිළියෙල කළේ. නමුත් ඒ සඳහා අම්මලාට වැය කිරීමට සිදු වූයේ මහන්සිය පමණයි. නමුත් අද වන විට තත්ත්වය අතිශයින්ම වෙනස්. අද ආහාර පිසින්නම මොන තරම් වියදමක් ඉන්ධන වෙනුවෙන් නිවෙස් වල වැය කරනවාද. සමහර ගෘහණියන් තම ගෙවත්තෙන්ම පහසුවෙන්ම දර සපයා ගැනීමට හැකිවුනත් පහසුව තකා ගෑස් ලිපටම හුරු වී සිටියි. හැකියාව තිබියදීත් දර ලිප් භාවිතා නොකර ගෑස් සහ විදුලිය භාවිතා කරනවානම් එය ඔබගේ නිවසේ තිබෙන සම්පත් නාස්ති කිරීමක් නොවේද.

 

මෙම ලිපිය හරහා අද අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ තමන්ගේ පවුලේ වියදම අඩුකරගන්න ආදර්ශයට ගත හැකි අපූරු දර ලිප් සංකල්පයක් පිළිබඳවයි. මේ හරහා නිවෙස් වල බිත්ති වල දැලි බැඳීම, වලං වල දැලි ඇතිවීම, අත්වල දැලි කුණු තැවරීම යනාදී ගැටළුකාරී තත්වයන් සියල්ලක්ම ඉවත් වී යන අතර ඔබගේ මුළුතැන්ගෙයටද මනා සුන්දරත්වයක් එක් කරයි. වියදම් අධික අයට මෙන්ම යහමින් මුදල් ඇති අයටත් මෙම නවීන දර ලිප් සංකල්පය ගලපගන්න පුළුවන්. මේ සඳහා මුලින්ම එකවර යම් මුදලක් දැරිය යුතු අතර ඉන් අනතුරුව පහසුවෙන්ම දර, පොල්කටු ආදිය භාවිතයෙන් මෙම ලිප ක්‍රියාත්මක කර ගැනීමට ඔබට පුළුවන්. ආහාර පිසීම, වතුර රත් කිරීම වැනි දේවල් වගේම කේක් පාන් වගේ කෑම සකසා ගන්න අවන් එකක් විදියටත් මෙම ලිප භාවිතා කළ හැකියි. මෙම සංකල්පයෙහි පවතින විශේෂත්වය වන්නේ හුරුබුහුටි බවයි. එමෙන්ම ඔබගේ නිවසට ගැලපෙන ආකාරයට විවිධ මෝස්තරවලට සකසා ගන්නත් පුළුවන්. දුම පිට වීම සඳහා ගල් වලින්ම චිමිනිය බඳින්නත් පුළුවන්. එසේ නැත්නම් වානේ හෝ ඇලුමිනියම් වලින් කළ බට භාවිතා කිරීමත් කළ හැකියි. ලිප ඇතුලත වැලි, බොරළු, තරමක් ලොකු ගල් ආදිය ඇතිරීමක් සිදු කරන නිසා ඒ හරහා හොඳින් රස්නය රඳවා ගැනීමටත් පුළුවන්. භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය කරන දර ටික ගබඩා කර තබා ගන්න වෙනම කොටසක් සකස් කර ගැනීමත් කළ හැකියි.

 

වර්තමානයේදී බොහෝ නිවෙස්වල ගෙවත්තේ නිකරුනේ දිරා යන දර, පොල් කොළ ආදිය බොහොමයි. එම නිසාම කාන්තාවන්ට මෙම නවීන දර ලිප් සංකල්පය සඳහා පහසුවෙන්ම යොමු වන්නට පුළුවන්. ඒ හරහා ඔබගේ මුළුතැන්ගෙට මෙන්ම පසුම්බියටත් පහසුවක් වේවි. මේ පිළිබඳව දැනුමක් සහිත කෙනෙකුගෙන් උදව් ලබාගැනීමටද හැකියාවක් පවතී නම් වඩාත් සාර්ථකව සුන්දර දර ලිපක් ඔබගේ නිවහනටත් එක්කර ගැනීමට හැකියාවක් පවතී. අරපරිස්සම අගය කරන කාන්තා ඔබට මෙය ඉතාමත් හොඳ විසඳුමක් නේද ? 

 

 

 

 

 

 

 

 

 

 

By : Sachini Sooriyaarachchi

Photo Source : Internet

 

views

2916 Views

Comments

arrow-up