ඉහළ ආදායමක් ලැබිය හැකි කෝමාරිකා වගාව

පසුගිය ලිපියකින් කෝමාරිකාවල් තියෙන ඖෂධීය ගුණ පිළිබඳ දැනුවත් කළා. මේ සූදානම් වෙන්නේ ඉතා ඉහළ ඖෂධීය ගුණයෙන් අනූන මේ බෝගය තුළින් ආර්ථිකව ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳ දැනුවත් කරන්න.
ලිලී කුලයට අයත් ඇලෝවේරා යන උද්භිත නාමය දරන කෝමාරිකාවල මව්බිම වෙන්නේ අරාබිය. කෝමාරිකා ශුෂ්ක කලාපීය භෝගයක්. ඊට හිරු එලිය පැය අටත් දහයත් අතර කාලයක් පවතින්න ඕන. සෙල්සියස් අංශක 25-30 ක උෂ්ණත්වය තිබීම වඩා හොඳයි. වතුර නොරදන වැලි පස වගාවට සුදුසුයි. වෙනත් වගාවකට නුසුදුසු ලවණ සහිත කලපු පස කෝමාරිකා වගාවට යොදා ගන්නත් පුළුවන්. වියළි කලාපයේ දකින්න ලැබෙන රතු දුඹුරු පසේ කෝමාරිකා වගා කරන්න පුළුවන්. ඇලි සහිත වැටි හෝ පළල අඩු පාත්ති වල කෝමාරිකා වගාවක් වශයෙන් සිදුකළ හැකියි.
අඩි එකහමාරක් පැළ අතර දුරකින්ද අඩි එකහමාරක් පේළි අතර දුරකින් ද කෝමාරිකා පැල සිටුවන්න පුළුවන්. අඩි එකක දිග පළල සහ ගැඹුරු වළක් කපා පැළ සිටුවන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කෝමාරිකා වර්ග තුනක් තියෙනවා.
වෙද කෝමාරිකා- ඖෂධිය ගුණය වැඩි නිසා දේශීය වෙදකමේ දී වැඩි වශයෙන් භාවිතා කරනවා.
මල් කෝමාරිකා- අලංකාරය සඳහා වවන වර්ගයක්.
මස් කෝමාරිකා- ආර්ථික අස්වැන්නක් සඳහා වගා කරන ජයන්ට් නැමැති වර්ගය මීට අයිති වෙනවා.
ඉඩකඩ තියෙන පෝච්චියක් තෝරා ගෙන වතුර බැස යාමට පෝච්චියේ අඩිය සිදුරු කර ගැනීමෙන් පෝච්චියක පැළ සිටුවීම ආරම්භ කරන්න පුළුවන්. පෝච්චිය පිරවීමට වැලි කොටස් තුනක් කොම්පෝස්ට් පොහොර හෝ හොඳින් දිරපු කුකුළු පොහොර කොටස් එකක් මතුපිට පස් කොටස් එකක් ගන්න. මේ වර්ග තුන හොඳින් කලවම් කර පෝච්චි පුරවාගන්න. කෝමාරිකා පැළයක් රුපියල් පනහක් 50 ක් වැනි මුදලකට ලබා ගන්න පුළුවන්. මේවා හොද තත්වයේ පවතින පැළ. මේ පැළ පෝච්චි මැද සිටුවා ගන්න සිටුවා දින තුනක් පසුවන තුරු පැළයට වතුර දාන්න එපා. ශුෂ්ක ශාකයක් නිසා වතුර වැඩි උනොත් මුල් කුණු විය හැකියි. පැළය නඩත්තු කරද්දි සති එකකට දෙකකට වරක් වතුර දැමීම ප්‍රමානවත්. මාස තුනකට පසු පැළයෙන් මොටෙයියන් එනවා. නව පැළ සෙන්ටිමීටර් 20 ක් පමණ උසට වැඩුණු පසු පෝච්චියෙන් ගලවා සිටුවා ගන්න. සිටුවා මාස 6කට පසුව අස්වැන්න ලෙස පඳුරේ පහළම කෝමාරිකා පිත්ත කපා ගන්න පුළුවන්. එතැන් සිට මාස එකක් දෙකක් අතර අස්වැන්න නෙළන්න පුළුවන්. හොඳ මිලකට අලෙවි කළ හැකි කෝමාරිකා ග්‍රෑම් 200 දෙසිය 350ත් අතර බර අත්තක් ඊට සුදුසු වෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැවුණු කෝමාරිකා පැළයකින් කිලෝග්‍රෑම් එකක් දෙකක් වගේ අස්වැන්නක් නෙළා ගන්න පුළුවන්. අත් බෙහෙතක් වශයෙන් හා ලාභ ලබා ගන්නා අරමුණින් කෝමාරිකා වගාව කිරීම සුදුසු බව දැන් ඔබට වැටහෙනවා නේද? මේ සඳහා මූලික වියදම අඩුයි. ඒ වගේම ලාභය වැඩියි . විශේෂයෙන්ම අපේ රටේ දේශගුණික තත්ත්වය නිසා කෝමාරිකා හොඳ ආර්ථික භෝගයක් බවට ඉදිරියේ දී පත්වේ යැයි විශ්වාස කෙරෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1663 Views
Comments