ජීවිතය කියාදෙන ජපානයේ කිංසුගි කලාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

ජීවිතය කියාදෙන ජපානයේ කිංසුගි කලාව

ජීවිතය කියාදෙන ජපානයේ කිංසුගි කලාව

කිංසුකුරෝයි හෙවත් කිංසුගි කලාව ඉතා ඈත අතීතයේ පටන් ජපානයෙන් පැවත එන්නක්. මෙය ඇත්ත වශයෙන්ම සාම්ප්‍රදායික කලාවක්.

 

මෙහි ආරම්භය පිළිබඳව විවිධ වූ ජනප්‍රවාද ඇතත් නිවැරදි යැයි සැලකෙන එක් හේතුවක් ඇත. ඒ 15 වන ශතවර්ෂයෙහි විසූ " අෂිකාගා යොෂිමාසා " නම් වූ ෂෝගුන්වරයාගේ ප්‍රියතම චීනගේ බදුන කැඩී කැබලි වීමෙන් පසු මෙය නැවත සකස් කරදීමට චීනයට යවා ඇත. එහෙත් එය පිළිසකර කිරීම ලෝහ අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදු කිරීම නිසා එහි ඇති සුන්දරත්වයට හානි වී තිබුණා. එයින් දුක් වූ මෙම ෂෝගුන්වරයා එය අලංකාර ලෙස පිළිසකර කර ගැනීමට හැකි නව ක්‍රමයක් සෙවීමට ජපන් නිර්මාණකරුවන් සොයන්නට වුණා. මෙන්න මෙය කිංසුගි කලාවෙහි ආරම්භය ලෙස සැලකෙනවා.

 

 

මෙම කලාවේදී සිදු කරන්නේ කැඩුණු පිගන් භාණ්ඩවල දාරයන් එකිනෙකට සම්බන්ධ කරමිං රත්‍රං යොදා මූට්ටු කිරීමයි. පෙර පැවතුණාට වඩා මෙම පිගන් භාණ්ඩ වල අලංකාරයක් වගේම විශාල වටිනාකමක්ද එකතු වෙනවා. මුලින්ම චීන ලාක්ෂා ශාකයක් වන උරුෂි ශාකයෙහි යුෂ ප්‍රයෝජනයට ගනිමින් භාණ්ඩයෙහි දාර අලවනු ලබනවා. පසුව එම උරුෂි තට්ටුව මත රත්‍රං කුඩු වලින් ඔප මට්ටම් කරනවා. රත්‍රං පමණක් නොව මේ සඳහා රිදී, තඹ හෝ ලෝකඩ වැනි ලෝහ කුඩුද භාවිතා කරනු ලබනවා. වර්තමානයේදී මේ සඳහා නවීනතම ක්‍රමෝපායන්ද භාවිතා කෙරේ. මෙම කිංසුගි කලාව ක්‍රමයෙන් අසල්වාසී රටවල් වන වියට්නාමය හා කොරියාවටද පැතිර ගියේය.

 

 

මෙම කලාව පිටුපස ගැඹුරු වූ දාර්ශනික පසුබිමක් විය. එය නම් කැඩී බිදීමක් යනු එම භාණ්ඩය සම්බන්ධ ඉතිහාසයේ එක් කොටසක් ලෙසට සලකනු ලබනවා. එනිසා එය නැවත සකස් කිරීම එම පලුද්ද සැගවීමට දරන්නාවූ උත්සහයක් නොව එය තවත් දීප්තිමත් කිරීමෙහි ලා දරණ උත්සහයක් ලෙසට මෙය වාබි සාබි නම් වූ ජපන් දර්ශනයට සමානකම් කියයි. මෙම දර්ශනයට අනුකූලව අප පරිහරණය කරන්නාවූ යම් භාණ්ඩයක් පුද්ගලයෙකුගේ ජීවිතය ලෙස සිදුවන යම් බිඳ වැටෙන අවස්ථාවන්ට සමාන වූ එක් අවස්ථාවක් වන බවත් එසේම මෙය මුෂින් හෙවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයෙහි වෙනස්වීම පිළිගැනීම හා දෛවය භාරගැනීම යන දර්ශනයටත් සමාන කර ඇත. ඒ අනුව පළුදුවීමක් සෘණාත්මක දෙයක් නොවන බවත් නව පැවැත්මක් ඇති කළ හැකි දෙයක් ලෙසට භාරගැනීම කිංසුගි කලාවෙහි ක්‍රමය බවයි.

 

 

ජීවිතය තුළ අප මුහුණ දෙනු ලබන කඩාවැටීම් හෝ බිඳ වැටීම් වලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙම කලාව තුළින් අප ජීවිතයට උකහා ගත හැකි වනවා. භාණ්ඩයේ පළුදු වූ ස්ථානයන් පෙරටත් වඩා අලංකාර ලෙස හා දීප්තිමත්ව සකස් කරන්නා සේම අප ජීවිතයෙත් ආත්ම විශ්වාසය හා ගෞරවය කියන රත්‍රං ආලේපනයන් ආලේප කර ගත යුතුයි. කඩාවැටීම් තුළින් ජීවිතය ශක්තිමත් කර ගැනීමටද හොඳ නිදසුනක් කිංසුගි කලාව තුළින් පෙන්වා දෙයි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1167 Views

Comments

arrow-up