බාබි බෝනික්කන් හැදුණු හැටි

මිනිස් රුවකට සමාන විදියට නිර්මාණය කරලා තියෙන බෝනික්කො ගැන මුල්ම ආරංචිය ලැබෙන්නෙ පුරාණ ඊජිප්තුවෙන්, ග්‍රීසියෙන් සහ රෝමයෙන්. පුංචි දරුවන්ගෙ සෙල්ලම් උපකරණයක් වගේම, අභිචාර විදි සඳහාත්, ආගමික පූජා කර්ම සඳහාත් බොනික්කො යොදාගෙන තියෙනවා.
අතීතයේදී මේ බෝනික්කෝ හදන්න පාවිච්චි කරලා තියෙන්නෙ මැටි, ගල්, අස්ථි, ලී, ඇත් දළ, සත්ත්ව හම් සහ ඉටි වගේ දේවල්. පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව ලොව පැරණිම සෙල්ලම් උපකරණය විදියට සැලකෙන්නෙත් බෝනික්කො.
19 වන සියවස වෙනකම්ම යුරෝපයේ බෝනික්කෝ හදන්න ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට භාවිතා කළේ ලී. වික්ටෝරියා රැජිනගේ පාලන කාලය වෙනකම් බෝනික්කන්ට තිබුණෙ දුඹුරු පැහැ ඇස්. නිල් ඇස් තියෙන බෝනික්කො කරලියට ආවෙ වික්ටෝරියා රැජිනගේ පාලන කාලයේ නිල් ඇස් ජනප්‍රිය වීමෙන් පසුවයි.
රවුම් හිසක් සහ මෘදු අත් පා සහිත, බිළිඳෙකුගේ ස්වරූපයක් ඇති බෝනික්කන් මුලින්ම දකින්න ලැබෙන්නෙ 1851 දි ලන්ඩන්වල තිබූ ප්‍රදර්ශනයකදි. 1890 දි රුසියාවේ “මැට්රියොෂ්කා” නමින් බෝනික්කො වර්ගයක් නිර්මාණය කෙරුණා. කිහිප දෙනෙක්ගෙන් සැදුණු කට්ටලයක් ලෙස නිර්මාණය කළ මොවුන් කුහරයක් සහිතයි. එක් බෝනික්කෙක් තුළට අනෙක් බෝනික්කා ඇතුළු කළ හැකි අතර මොවුන් එකම තේමාවකට අනුව අලංකාර ලෙස වර්ණ ගල්වලා තියෙනවා.
බෝනික්කන් නිෂ්පාදනයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ 1860 සිට 1890 දක්වා කාලය. විවිධ යාන්ත්‍රික ක්‍රියාවලින් ඇතුළත්, ඇවිදින්නට, කතා කරන්නට, සටන් කරන්නට වගේම සංගීත භාණ්ඩ වාදනය කරන්නටත්, නර්තනයේ යෙදෙන්නටත් පුළුවන් බෝනික්කො මේ කාලයේදී හඳුන්වා දුන්නා. බොනික්කන් සම්බන්ධ බොහෝ නව නිපැයුම් රැසකට පේටන්ට් බලපත්‍ර ලැබුණෙත් මේ කාල සීමාවෙදීයි.
20 වන සියවසේදී පොලිමර් සහ ප්ලාස්ටික් හඳුන්වා දුන්නට පස්සෙ ඒවායින් බෝනික්කන්ට අමතරව තවත් සෙල්ලම් බඩු නිෂ්පාදනය ඇරඹුණා. කඩදාසි බෝනික්කො නිර්මාණය වෙන්නෙත් මේ කාලෙදිමයි. වර්තමානයේදී නළු නිලියන්, ගායක ගායිකාවන්, සාර්ථක ව්‍යාපාරිකයන් වගේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූපයට සමානව නිර්මාණය කළ බෝනික්කන් දකින්න ලැබෙනවා. මුලින්ම ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට සමානව බෝනික්කෙක් නිපදවලා තියෙන්නෙත් කඩදාසිවලින්. බැලේ නාටිකාංගනාවකට සමානවයි ඒ බෝනික්කා හදලා තියෙන්නෙ.
පළමු බාබි බෝනික්කා වෙළඳපොළට එන්නෙ 1959 දි. ඇමෙරිකානු ව්‍යාපාරික කාන්තාවක් වන රූත් හැන්ඩ්ලර් විසින් නිර්මාණය කරන ලද බාබි බෝනික්කා සුරතල්, ළමා පෙනුමක් තිබෙන සාම්ප්‍රදායික බෝනික්කන්ගෙන් වෙනස් වෙලා වැඩිහිටි පෙනුමක් සහිතව නිපදවුණා.
මේ නිර්මාණය සඳහා ජැක් රයන් නම් ඉංජිනේරුවාගෙන් උදව් ලබා ගත් රූත් ඒ සමඟම බාබි බෝනික්කන්ට විවිධාකාර විලාසිතාවලින් යුත් ආකර්ෂණීය ඇඳුම් පෙළක්ද හඳුන්වා දුන්නා. වෙන වෙනම මිලට ගත හැකි මේ ඇඳුම් නිසාම බාබි ලොව පුරා දරුවන් අතර ඉතා ඉක්මණින් ජනප්‍රිය වුණා.
පළමු බාබි බෝනික්කා තළෙළු සමක් සහ දුඹුරු පැහැ හිසකෙස් ඇත්තියක්. සීබ්‍රාවෙකුගේ සමෙහි රටාව සහිත පිහිනුම් ඇඳුමකින් සැරසුණු මොවුන් නිශ්පාදනය කරලා තියෙන්නෙ ජපානයේදියි. 1980 දී පළමුවරට කළු සමක් සහිත බාබි බෝනික්කන් නිර්මාණය වුණා.
575 Views
Comments