ලේ වෑහෙන අපූරු බිම්මල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ලේ වෑහෙන අපූරු බිම්මල

ලේ වෑහෙන අපූරු බිම්මල

මේ බිම්මල් විශේෂයේ විද්‍යාත්මක නාමය ‘Hydnellum peckii’ වේ. ඒවා මත දත්වලට සමාන හැඩයකින් යුතු මැලියම් වැනි උකු දියරයක කොටස් දැකිය හැක. ඒවා දීප්තිමත් රතු පැහැයකින් යුක්ත වේ.



ප්‍රධාන වශයෙන් උතුරු අමෙරිකා සහ යුරෝපා මහද්වීපවල මේවා දැකිය හැකි ය. ඊට අමතර ව, මේ බිම්මල් 2008 වසරේ දී ඉරානයෙන් සහ 2010 වසරේ දී කොරියාවෙන් ද සොයාගෙන තිබේ.



‘Bleesing tooth’ බිම්මල්වල ඉහළ කොටස බොහෝ විට පුනීලයක හැඩය ගන්නා අතර ඊට හාත්පසින් ම වෙනස් හැඩයක් ගන්නා ඒවා ද තිබේ. සුදු පැහැයක් ගන්නා බිම්මලේ ඉහළ කොටසේ ඉතා සිහින් කෙඳි විශේෂයක් ද දැකිය හැක.


හොඳින් වැඩුණු මේ වර්ගයේ බිම්මලක ඉහළ කොටසේ වට ප්‍රමාණය උපරිම සෙන්ටිමීටර් 20 දක්වා වර්ධනය වේ. මුල් අවධියේ දී එය සුදු පැහැයෙන් යුක්ත වන අතර ක්‍රම ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරේ. මුල් අවධියේ දී බිම්මල මෘදු මතුපිටකින් යුතු වුවත් ටිකෙන් ටික එය රළු ස්වභාවයක් ගනී.



මෙම බිම්මල්වල ඉහළ කොටස මත තැන තැන විසිරී තිබෙන රතු පැහැති, මැලියම් බිඳු වැනි යමක් දැකිය හැකි ය. ඒ නිසා මේවා ‘ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් (strawberries and cream), රුධිරය ගලන දත් සහිත බිම්මල් (mushroom with bleeding teeth), රතු යුෂ පිරි බිම්මල් (mushroom with red juice) සහ යකාගේ දත (devil’s tooth) යන් නම්වලින් හඳුන්වයි. එම මැලියම් දැකිය හැක්කේ මෙම බිම්මල නැවුම් ව පවතින කාල සීමාවේ දී පමණි.



මේ බිම්මල් විශේෂය ඉතාමත් ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වුවත් ඒවා වෙනත් බිම්මල් මෙන් ආහාරයට එකතු කරගත නොහැක. ‘Bleeding Tooth`පිළිබඳ ව පර්යේෂණ සිදු කළ විශේෂඥයන් පවසා ඇත්තේ මේ බිම්මල් විස සහිත ඒවා නොවුවත් ඒවායේ ඇති උග්‍ර තිත්ත රසය නිසා ආහාරයක් ලෙස භාවිත කළ නොහැකි බවයි. කෙසේ වෙතත් බිම්මල් මත ඇති රතු පැහැති දියරයකට සමාන දේ යොදා ගෙන විවිධ පිරිස් සායම් වර්ග නිෂ්පාදනය කරති.

views

353 Views

Comments

arrow-up