රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතබන බවට ලෝක කම්කරු දිනය යේදී ජනපතිගෙන් සහතිකයක්

රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුදකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගනිමි.
ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවක දීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ රටේ වැඩ කරන ජනතාවය. අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප කොවිඩ් 19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සහතිකය.
ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ එකමුතුකම, ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර අහිමිව ඇත. එසේ වුවද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව මම විශ්වාස කරමි.
අපේ රජය කුමන අසීරු තත්ත්වයන් හමුවේ වුවද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේ ද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා අංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කරයි.
පසුගිය වසරේ මැයි දින සැමරුමට මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවිණ. අප ඒ මිලේච්ඡත්වයට තිත තැබුව ද අනපේක්ෂිත ලෝක වසංගතය හමුවේ මෙවර ද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි නොපැවැත් වෙයි. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලාංකේය ජනතාවත් රටේ ආර්ථීකයත් අලූතින් ගොඩ නගන සාමූහික ප්‍රයත්නයට ජාත්‍යන්තර කම්කරු දින ප්‍රාර්ථනය ශක්තියක් වේවා! ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවට මගේ ආචාරය!”
806 Views
Comments