මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය බල රහිත කරන්න – අධිකරණයට පෙත්සමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
03

මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය බල රහිත කරන්න – අධිකරණයට පෙත්සමක්

මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය බල රහිත කරන්න – අධිකරණයට පෙත්සමක්

කල් දමා තිබෙන මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි.

 

නීතිඥ චරිත ගුණරත්න මහතා පෙත්සම ඉදිරිපත් කළේය.

 

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා නම් කර තිබේ.

 

පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු දෙවන දා සිට මාස තුනක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

 

එම කාල සීමාව ඉක්මවා පවත්වනු ලබන මහ මැතිවරණයක් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙන ඔහූ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වූ දින සිට සති පහක් සහ සති හතක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කරුණු දක්වා ඇතැයි ද පවසයි.

 

ඒ අනුව මහ මැතිවරණය මැයි මස 13 වනදා ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

 

එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ 21ක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත රට තුළ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි කියා සිටින්නේ.

 

ඒ අනුව ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

 

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ජුනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබේ.

views

695 Views

Comments

arrow-up