රටට බොරු කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක - CCTV මගින් නීතිපතිට මාට්ටු – පොලිසිය රටම මුලාවේ දැමූ හැටි මෙන්න

මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමේදී සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවට මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අසත්‍ය සටහන් යොදා තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කොට ඊට අදාළ වාර්තාවක් නොපමාව ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ලද CCTV රූපරාමු පරික්ෂා කිරීමේදී එය අත්අඩංගුවට ගැනීමක් නොවන බවට පැහැදිලිව පෙනී ගොස් ඇති බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මෙහිදී සඳහන් කළා.
අනුරුද්ධ සම්පයෝ පොලිස් භාරයට ගත් ස්ථානයේ තිබු CCTV රූප රාමු අනුව මිගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් රැගත් ජීප් රථය සහ සම්පයෝගේ සහෝදරයා ඇතුළු තවත් පිරිසක් රැගත් වෑන් රථයක් එම ස්ථානයට වී වරෙන්තු නිකුත්ව තිබු සැකකරු එම ස්ථානයට පැමිණෙන තෙක් බලා සිටින අයුරු නිරීක්ෂණය වී තිබුණා.
එලෙස ඔවුන් සිටින ස්ථානයට අනුරුද්ධ සම්පයෝ රතු පැහැති මෝටර් රථයකින් පැමිණි බවත්, ඔහු එම වාහනයෙන් බැස පොලිස් ජීප් රථය දෙසට ඇවිද ගෙන යමින් සිටියදී සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගෙන කතා කරමින් පැමිණ එම ඇමතුමේ සිටි පුද්ගලයා සමග සම්බන්ධ වීමට මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ද ඉඩ සලසා දී ඇති බවට නිරීක්ෂණය වන බවත් නීතිපතිවරයා මෙහිදී වැඩබලන පොලිස්පතිවරයාට දන්වා යවා ඇති බව සඳහන්.
එහිදී මිගමුව මුලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරුද්ධ සම්පායෝගේ ශරිරයට අත තබමින් ඔහුව සුහඳව පිළිගන්නා අයුරු පැහැදිලිව නිරීක්ෂණය වන බැවින් එය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් නොව වරෙන්තුකරුවෙකු පුර්ණ සැලසුමක් සහිතව පිළිගැනීමක් බව ඕනෑම අයෙකුට පෙනී යන කරුණක් බව නීතිපතිවරයා මෙහිදී පෙන්වා දෙනවා.
ඉන්පසුව මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා මාංචු නොමැතිව සිටි අනුරුද්ධ සම්පායෝව ජීප් රථයේ පසුපස අසුනේ හිඳ ගැනීමට ඉඩ සලස්වා ඒ වන තෙක් ජීප් රථය පසුපස නවතා තිබු වෑන් රථයෙන් පැමිණි පිරිසට ඔහු සමග නිදහසේ හැසිරිමට ඉඩ හැර තිබෙන අයුරු නිරීක්ෂණය කොට තිබෙනවා.
එම අවස්ථාවේදී මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා යම් අයෙකු එම ස්ථානයට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් යුතුව සිටින බවට පෙනී ගොස් ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට ඔහුගේ ජංගම දුරකථනයෙන් අනුරුද්ධ සම්පායෝට කරුණු දැක්වීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින්ම ඉඩ සලස්වා එය වරෙන්තුකරු සාර්ථකව අත්අඩංගුවට ගන්නා ආකාරය මහජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයට පෙන්වීමට ඔවුන් දෙදෙනා සාමුහිකව කටයුතු කර ඇති අයුරු CCTV රූප රාමුවල පැහැදිලිව දක්නට ලැබෙන බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරුණු දන්වා තිබුනා.
ඒ අනුව මෙවැනි සාවද්‍ය කරුණු පදනම් කර ගනිමින් සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරු අත්අඩංගුවට ගත් බවට පොලිස් පොතේ අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට විරුද්ධව වහා විමර්ශනයක් කොට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අවස්ථා ගණනාවකදී මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ නිකුත් කරමින් මෙය ‘උපක්‍රමශිලිව, සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරු අත්අඩංගුවට’ ගත් බව කියමින් මහජනතාව නොමග යවන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිවද විමර්ශනයක් සිදුකොට කරුණු වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මෙම සිදුවීමට අදාළ CCTV වීඩියෝ පටයන් මිගමුව මහේස්ත්‍රාත්වරියට, ආරක්ෂක ලේකම්වරයාට, ජාතික පොලිස් කොමිසමට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද දිනයේදී නීතිපතිවරයා විසින් යොමු කරනු ලැබූ බවද නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
2782 Views
Comments