2020 බලාපොරොත්තු තබාගත හැකි - දුන් පොරොන්දු ඉටු කරන වසරක්

උදා වූ නව වසර බලාපොරොත්තු තබාගත හැකි වසරක් බවද, රට සංවර්ධනය කෙරෙන, ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කෙරෙන, මැතිවරණ පවත්වන වසරක් බවද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(1) තංගල්ලේදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසූයේ තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.
“මේ වර්ෂය බලාපොරොත්තු තබාගත හැකි වසරක්. රට සංවර්ධනය කරන වසරක්. ජනතාවට දුන් පොරොන්දු ඉටුවන වසරක් සහ මැතිවරණ තියන වසරක්. ජනාධිපතිවරණය අවසානයේ ජනාධිපතිතුමා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන වසරක්.
දැනටමත් සහනාධාර සහ ලක්ෂයකට රැකියා අවස්ථාවන් ලබා දෙන වසරක් බවට පත්ව තිබෙනවා. මෙතෙක් කල් විභාගය අසමත් වූ අයට හරියාකාර රැකියාවක් තිබුණෙ නැහැ. තමන්ට නුසුදුසු රැකියාවට ගිහින් විභාග පාස් කළාට ඒ රැකියාව කරන්න බැරි වුණ විශාල පිරිසක් හිටියා. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා පහළ ශ්‍රේණියේ ලක්ෂයක හිඟ පුරප්පාඩු පිරවීම සඳහා කණ්ඩායමක් හදන්න කියලා.
අපි තවම සුළුතරයක් තිබෙන ආණ්ඩුවක්. තවමත් හරියට ආණ්ඩුවක් අපි පිහිටුවා නැහැ. හුඟක් අය හිතනවා ජනාධිපතිවරණය දිනපු නිසා ආණ්ඩුවක් පිහිටුවා තිබෙන්නේ කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂය තමයි දැනට වැඩියෙන් ඉන්නේ. මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ඉන් පසුවයි හරිආකාරයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාවක් තිබෙන්නේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තිබෙන බලතල එක්ක කැබිනට් මණ්ඩලයේ තිබෙන බලතලත් භාවිතා කරලා අපි මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් සියලු සහනාධාර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පමණක් නොවෙයි රටේ සංවර්ධන උදෙසාත් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මම හිතනවා බදු ඉවත් කිරීම තුළින් බොහෝ දෙනකුට ප්‍රතිලාබ ලැබී තිබෙනවා” යැයිද ඒ මහතා කීය.
මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ගැබිණි මවුවරුන්, දරුවන් සහ ආබාධිත පුද්ගලයන්ට විවිධ උපකරණ සහ රෝද පුටු ද බෙදාදුන්නේය.
662 Views
Comments