සහරාන්ට විරුද්ධ වරෙන්තු එදා සිටි නීතිපති යටගහලා!
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

සහරාන්ට විරුද්ධ වරෙන්තු එදා සිටි නීතිපති යටගහලා!

සහරාන්ට විරුද්ධ වරෙන්තු එදා සිටි නීතිපති යටගහලා!

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් 2018 වසරේ ජනවාරි මස 6 වනදා සිට අවස්ථා රැසකදී අන්තවාදී තේමා යටතේ ඔහුගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ පණිවුඩ මුදාහැර ඇති බව ඒ පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (02) හෙළි වුණා.

 

මෙම අන්තවාදී ප්‍රකාශ ඔස්සේ මුස්ලිම් තරුණයන් නොමග යාමට ඉඩ ඇති බැවින් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවට එවක පොලිස්පතිවරයාට විමර්ශන ලිපි යවා ඇති බව ද කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දුන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළා. කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් හා තවත් මුස්ලිම් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමෙන් පසු ඔහු හා ඔහුගේ සොහොයුරු රිල්වාන් ප්‍රදේශයෙන් පලා ගොස් සැගව සිට ඇති බවයි සාක්‍ෂිකරු සදහන් කළේ. තමන් මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබද තොරතුරු පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී යවා තිබුණ ද ඒ සම්බන්ධයෙන් සිදුකර තිබුණේ වැඩිදුර වාර්තා කැදවීම බව සාක්‍ෂිකරු කියාසිටියා.

 

දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ සිද්ධියෙන් පසු මුස්ලිම්වරුන් ඊට විරුද්ධව අවි ආයුධ රැගෙන පෙළ ගැසිය යුතු බව සහරාන් හෂීම් 2018 වසරේ මාර්තු මස 5 වනදා ෆේස් බුක් ගිණුමට එක්කර තිබුණා. ඔහුගේ ප්‍රකාශය තවත් පුද්ගලයන් 96 දෙනෙකු බෙදා හැර තිබුණා. මේ සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව ද හෙළි වුණා.

 

 

මේ අතර සහරාන් හෂීම්ට එරෙහිව අධිකරණයේ විවෘත වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට සිය කොට්ඨාසය සකස් කළ ලිපි ගොනුවක් 2017 වසරේ ජුනි මස 7 වනදා නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ බව විමර්ශන නිලධාරියා පැවසුවා. එම ලිපි ගොනුව අධ්‍යයනය කරමින් සිටියේ මලික් අසීස් නමැති නිලධාරියෙකු බවයි සාක්‍ෂිකරු පැවසුවේ. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ දැයි කොමිසම නැගූ ප්‍රශ්නයට සාක්‍ෂිකරු සදහන් කළේ නැත යන්නයි. අදාළ විවෘත වරෙන්තුව සම්බන්ධයෙන් සියලු පොලිස්ථානවලට දැනුම් දීමක් සිදුකර නොතිබූ බව ද සාක්‍ෂිකරු පැවසුවා.

 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සහරාන්ට දේශපාලන රැකවරණ දුන් බවට බුද්ධි අංශයෙන් තමාට දැන ගන්නට ලැබුණත් තමා සිදු කළ විමර්ශනයේදී එවැනි දෙයක් අනාවරණය නොවූ බවයි සාක්‍ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. සහරාන් හෂීම්ගේ අන්තවාදී ප්‍රකාශ නිසා ෆේස් බුක් ගිණුම අත්හිටුවන ලෙස තමා ෆේස් බුක් ආයතනයෙක් අවස්ථා රැසකදී ඉල්ලීමක් කළ ද එය ඉටු නොවූ බව සාක්‍ෂිකරු කියාසිටියා.

 

ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේ මැදිහත්වීමෙන් ඒකාබද්ධ ඉල්ලීමක් සිදු කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරයට දින 8 කට පෙර සහරාන්ගේ ෆේස් බුක් ගිණුම අත්හිටුවීමට ෆේස් බුක් ආයතනය කටයුතු කර තිබුණා.

 

කටුවාපිටිය බෝම්බය පුපුරුවා ගත් මොහොම්මදු හස්තූන් නමැත්තාට බෝම්බ නිෂ්පාදනය පිළිබද වැඩි දැනුමක් තිබූ බව මෙහිදී හෙළි වුණා. සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හා සිනමන්ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉල්හාම් බෝම්බ සෑදීමට උපකාර කර තිබෙනවා. දිවයිනේ ස්ථාන 6 ක පුහුණු කඳවුරු 11 ක් ඔවුන් පවත්වාගෙන ගොස් ඇති බවයි හෙළි වුණේ.

views

850 Views

Comments

arrow-up