නිශාන්ත ද සිල්වා සිය පවුල සමඟ රට යයි

මෑත කාලයේ කතාබහට ලක් වූ සිද්ධි කිහිපයකම විමර්ශන සිදු කළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා සිය පවුලේ සාමාජිකයන් සමඟ අද හදිසියේම විදෙස්ගත වී ඇත.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතායි.
ඔහු නිසි පරිදි නිවාඩු ලබාගැනීමකින් තොරව මෙලෙස විදෙස්ගත වී ඇති බවයි අනාවර්නයවන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද දහවල් 12.50ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් WK65 දරණ ගුවන් යානයෙන් සිය පවුලේ සාමාජිකයින් සමග ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ .
2018 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී නිශාන්ත ද සිල්වා මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුව කොට්ඨාසය වෙත ස්ථාන මාරුවක් ලබාදුන් අතර දින දෙකක කාලයකදී යළි එය අත්හිටුවනු ලැබුවේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගනිමින්.
මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ද අවධානය යොමුවු අතර පොලිස් කොමිසමේ ලේකම්වරයා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ අදාළ නිලධාරියා එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා චෝදනාවක් සිදුකර තිබු බවයි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද විමර්ශනයක් සිදුකර ඇති අතර එම චෝදනාව මුල්කරගනිමින් පොලිස්පතිවරයා විසින් නිශාන්ත ද සිල්වා මහතාට ස්ථාන මාරුවීම ලබාදී තිබු බව පොලිස් කොමිසමේ ලේකම්වරයා පවසා තිබුණි.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ආර්.බි.සෙනෙවිරත්න මහතා පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබුණේ අදාළ නිලධාරියා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කර තිබු අතර නිශාන්ත ද සිල්වා මහතා දිවයිනෙන් පිටත්ව යන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළේය.
742 Views
Comments