අරන්තලා භික්ෂූ සංහාරයට අදට වසර 33ක්

කොටි ත්‍රස්තවාදීන් අරන්තලාව මහා භික්ෂු සංහාරය සිදු කර අදට (02) වසර 33ක් සපිරෙනවා.
1987 වසරේ ජූනි 02 මිලේච්ඡ කොටි සංවිධානය විසින් උතුරු නැඟෙනහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හෑගොඩ ඉන්දසාර නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 31 නමක් ද ගිහියන් තිදෙනකු ද ඇතුළු 34 ක් සමූල ඝාතනය වූණා.
මෙම මහා භික්ෂු සංහාරය හැදින්විය යුත්තේ රාජධානි යුගවල ලංකාව යටත්කර ගැනීමට ආ පරසතුරන් සිදු කළ මහා භික්‍ෂු සංහාරවලින් පසු සිදු වූ දරුණුතම සංහාරය ලෙස බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.
දිනය 1987 වසරේ ජුනි මස 2වනදායි. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ කුඩා සාමනේර භික්ෂුන් වහන්සේ අම්පාර මහාවාපී විහාරස්ථානයට වැඩම කර සිටියේ පසුදා අලුයම ධර්ම චාරිකාවක් සඳහා පිටත්ව යාමටයි. ඒ සඳහා අම්පාර සිට මහනුවර බලා උන්වහන්සේ වැඩම කළේ එම පිරිවෙනේ පරිවේනාධිපති වූ උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පූජ්‍ය හෑගොඩ ඉන්දසාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයකින් මහා සගරුවන වැඩම කරද්දී මාර්ගයේ සැගවී සිටි කොටි ත්‍රස්වාදීන් මාර්ගය අවහිර කරමින් එම බස්රථය පැහැරගෙන අම්පාර නුවරගලතැන්න වනගත ස්ථානයකට රැගෙන ගොස් එහිදී මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු කළා. ත
මා ඝාතනය කර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට හිරිහැරයක් නොකරන්නැයි ඉන්දසාර හිමියන් කොටින්ගෙන් දිගින් දිගටම අයැද සිටියේ කුඩා සාමනේර හිමිවරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ තුල තිබූ උත්තරීතර බව ප්‍රදර්ශනය කරමින්. එහෙත් ලේ පිපාසයෙන් වියරු වැටී සිටි කොටි ත්‍රස්තයන් එම ඉල්ලිම හෝ සාමණේර හිමිවරුන්ගේ අදෝනාව හෝ කනට ගත්තේ නැහැ. පාපතර ම්ලේච්ඡ කොටි ත්‍රස්තයින් පරිවේණාධිපති හිමියන්ට කඩු පහර එල්ල කරමින් උන් වහන්සේ ඝාතනය කළේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ විලාප හඩ මධ්‍යයේයි. බස් රථයේ රියදුරු සමරපාල හා කොන්දොස්තර ජිනදාසත් පිරිසේ සහායට පැමිණ සිටි වසන්ත ජයවර්ධනත් ඝාතනය කළ කොටි ත්‍රස්තයින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සියළු දෙනා බස් රථය තුළදීම ඝාතනය කර තිබුනේ හද සසල කරවන අයුරින්. භික්ෂුන් වහන්සේ තිස් එක් නමක හා නිරායුද අහිංසක සිවිල් වැසියන් තුන්දෙනෙකු කපා කොටා වෙඩි තබා ඝාතනය කළ ස්ථානය සිහිවටන ස්මාරකයකින් සමන්විත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. භික්ෂුන් වහන්සේ ඝාතනයට ලක්වූ බස්රථය හා එම ඝාතනය සිදුවූ ආකාරය පිලිඹිඹු වන අයුරින් ඉදි කෙරුණු කෞතුකාගාරයද 2013 වසරේ විවෘත කෙරුනේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්.
මෙම සංහාරය සිදුවන විට ශ්‍රී ලංකාව මුළුමණින්ම පැවතියේ අරාජික තත්ත්වයක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බුද දහම ආරක්‍ෂා කිරීමට හා එය පෝෂණය කිරීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව බැදී සිටිය ද මහා සංඝරත්නයටවත් ආගමික සිද්ධස්ථානවලටවත් එදා කිසිදු ආරක්‍ෂාවක් හෝ පෝෂණයක් ලැබුණේ නැති බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. මෙබදු ම්ලේච්ඡ ප්‍රහාරයක් සිදු වුව ද එකල පැවති රජය භික්‍ෂු ශාසනය හා විහාරස්ථානවල ආරක්‍ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. 2005 වසරේ ගෞරවණීය සාමයක් උදෙසා මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන තුරු කිසිවෙකුට ජීවිතය පිළිබද විශ්වාසයක් තිබුණේ නැහැ. 2009 වන විට රුදුරු ත්‍රස්තවාදය අතුගා දමා සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි අභය භූමයක් බවට ශ්‍රී ලංකාව පත් කළ අයුරු අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. 2015 න් පසු බුද්ධ ශාසනයට අදුරු දසාවක් එළඹුණු බව පවසන අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තයන් සිදු කළ කායික ඝාතනයන්ට නොදෙවනි ආකාරයට භික්‍ෂූන්වහන්සේ මානසික ඝාතනයට නතු කළ බව පවසනවා.
භික්‍ෂූන්වහන්සේට චීවරධාරීන් ලෙස අමතමින් විහාරස්ථානවල පිං පෙට්ටි සීල් තැබිය යුතු බව පවසමින් උන්වහන්සේ හිරේ විලංගුවේ යවමින් කටයුතු කළා පමණක් නොව භික්‍ෂුවකගේ දේහයක් උතුරු නැගෙනහිර වැළලීමට ඇති අයිතිය ද අහෝසි කෙරුණා. මහා සංඝරත්නය අනන්ත නින්දා විදිමින් පැවති තත්ත්වය වෙනස් කර ගැනීමේ ප්‍රාර්ථනයෙන් නව නායකයෙකු රටට ලබා දී තිබෙනවා. මේ වන විටත් ජනාධිපතිතුමා නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්‍ෂා කර ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා අවසන්. මේ සියල්ල උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් දිවිපිදූ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපහාර පිණිස වේවායි ප්‍රාර්ථනා කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පවසන්නේ.
738 Views
Comments