'ශ්‍රී ලංකා මාතා' ගීතය වෙනස් කිරීමට නම් ජනමත විචාරණයකුත් අවශ්‍යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

'ශ්‍රී ලංකා මාතා' ගීතය වෙනස් කිරීමට නම් ජනමත විචාරණයකුත් අවශ්‍යයි

'ශ්‍රී ලංකා මාතා' ගීතය වෙනස් කිරීමට නම් ජනමත විචාරණයකුත් අවශ්‍යයි

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පවසන්නේ හුදු දේශපාලන අරමුණකින් පමණක් බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරිමෙන් සංහිඳියාවට කිසිඳු ගැටලුවක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 

ඉකුත් ආණ්ඩුව විසින් සිදුකරනු ලැබූ වැරදි ක්‍රියාමාර්ග වත්මන් ආණ්ඩුව නිවැරදි කරමින් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

 

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් තවදුරටත් අදහස් පළ කරමින් සිටිනවා. ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳ ලිඛිතව ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපි ද යොමු කර තිබූ බවයි වාර්තා වුණේ.

 

ජාතික ගීය ගායනා කළ යුතු භාෂාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ නිවැරදිව සඳහන් කර ඇති බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.

 

එහිදී ඔහු පෙන්වා දුන්නේ “ශ්‍රී ලංකාවේ ජාතික ගීය වන්නේ උප ලේකනයේ සඳහන් වන ‘ශ්‍රී ලංකා මාතා’ ගීතයයි කියලා අපේ ජාතික ගීය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිළිව සඳහන් වෙනවා. ඒ වගන්තිය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වෙලා ඒක ජනමත විචාරණයකදී ජනතාව විසිනුත් අනුමත කළ යුතුයි. ” යනුවෙනි.

 

මේ අතර එළඹෙන නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට සූදානම්වීම අනුමත නොකරන බව තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ දිනයේද අදහස් පළ කර තිබුණා.

 

තමිල්නාඩුවේ ඩී. එම්. කේ. සහ පී. එම්. කේ. පක්ෂ නියෝජිතයින් එහිදී පවසා තිබුණේ ඒ පිළිබඳ සොයා බලන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ද ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි.

 

කෙසේවෙතත් භාෂා විශාල සංඛ්‍යාවක් භාවිත කරන ඉන්දියාවේ පවා ජාතික ගීය ගායනා කරන්නේ ව්‍යවස්ථාවේ සඳහන් භාෂාවෙන් පමණක් බව මහා සංඝරත්නය මෙන්ම විද්වතුන් ද පෙන්වා දී තිබෙනවා.

 

 

නෙත් පුවත් වෙබ්අඩවියෙන්

views

687 Views

Comments

arrow-up