කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්

කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පැවත්වෙන අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.

 

එම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතරු බලපැවෙත්වෙන පරිදි මෙම අතුරු නියෝගය නිකත් කරනු ලැබ ඇත.

 

අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

 

එසේම රිට් පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන මස 22 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

 

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධාන තර්කය වුයේ සන්සෝනි නඩුව අනුව දෝෂ සහිත අධිචෝදනා බලරහිත කළ හැකි බවය.

 

පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඉකුත් වසර 10ක කාලය තුළ විමර්ශන සිදු කළත් එහිදී තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කළේය.

 

අදාල කාල සීමාව තුළ  පුද්ගලයින් 150කට අධික පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එහෙත් තම සේවාදායකයා විසින් අදාළ තරුණයින් පැහැර ගෙන ගොස් සිර කර තබා මුදල් ලබාගැනීම හෝ ඔවුන් මරා දැමු බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව පැවසීය.

 

එහෙත් නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කර පසුව නාවික හමුදාපති ධූරයට පත් ට්රැමවිස් සින්නයියා විසින් 2017 වසරේ පොලීසියට ලබා දුන් ප්‍රකාශයකින් පසුව තම සේවාදායකයා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කෙරුණ බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

 

2015 වසරේ ආණ්ඩු මාරුවෙන් පසු මෙම විමර්ශනය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ උපදෙස් මත එවක එහි සමූහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් බවත් ඔහු මේ වනවිට ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා සඳහන් කළේය.

 

එම නිලධාරීයා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවය මත විමර්ශන මෙහෙයවූ බවද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

 

ඒ අනුව සිද්ධිය සිදුවී වසර 10 කින් පසුව කිසිදු සාක්ෂියක් නොමැතිව සිය සේවාදායකයා මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම නඩුවේ විභාගය අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කියා සිටියේ මෙම නඩුවේ අධිචෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තේ නීතිපති නොව අගවිනිසුරු බව අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වැඩිදුරටත්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිතාසි නිකුත් කර තිබුණත් ඔහු මේ දක්වා අධිකරණයට ඉදිරිපත් නොවී හිතාමතාම අධිකරණය මගහරිමින් සිටින පුද්ගලයෙකු බව සඳහන් කළේය.

 

පෙත්සම්කරු පිරිසුදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නොමැති හෙයින් ඔහු ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත්  සඳහන් කළේය.

 

පෙත්සම්කරු නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත් ඔහුට එරෙහි නඩු විභාගය අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූවොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වීමට එය හේතුවක් වනු ඇතැයිද අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා කියා සිටියේය.

 

දෙපාර්ශවයේ කරුනු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල අතුරු නියෝගය නිකත් කලේය.

 

ලබන මස 23 දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුටද නොතිසි ද නිකුත් කෙරිණි.

 

 

 තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවත්වෙන එම නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබිණි.

 

මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

 

පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

 

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.

 

 

views

736 Views

Comments

arrow-up