මොළයේ උණ බෝ කරන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

මොළයේ උණ බෝ කරන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් !

මොළයේ උණ බෝ කරන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් !

රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

 

කියුලෙක්ස් (Culex) ගණයට අයත් 'near infulලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

 

ජැපනීස් එන්සෙපලයීටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නැමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන Cx.sp near infula ලෙස හඳුන්වන නව මදුරු විශේෂය ද වෙනත් ජීවීන්ගේ රුධිරය බොති.

 

''1998 දී ඉන්දියාවේ කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා Culex infula මදුරුවා ජැපනීස් එන්සෙපලයීටීස් වාහකයෙක් බව. ඒක නිසා Cx.sp near infula කියන මදුරුවා ශ්‍රී ලංකාවේ ඉන්න බවට කළ සොයා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. මෙයත් බොහෝ දුරට ඉදිරියේ දී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා," යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

 

මෙම සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මදුරු විශේෂ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

 

රෝග වාහකයන් විය හැකි මදුරු විශේෂ හඳුනා ගැනීමේ වැඩසටහනක් 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් ආරම්භ විය.

 

එහි දී මදුරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා උගුල් වර්ග හතරක් යොදා ගැනීමට කටයුතු කර තිබිණි.

  1. ගවයෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Cattle baited trap
  2. මිනිසුන් උගුලක් ලෙස යොදා ගැනීම - Human baited night collection
  3. සුනඛයෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Dog baited trap
  4. කුරුල්ලෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Bird baited trap
  5.  

දිවා සහ රාත්‍රි කාලයේ දී අඹේපුස්සේ කරන ලද පරීක්ෂණයේ දී විශේෂ 35කට අයත් මදුරුවන් 2815ක් උගුලට හසු වී තිබේ.ඒ අතර, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් හය දෙනෙකු ද සොයා ගැනීමට හැකි වී තිබේ.

 

මෙම නව මදුරු විශේෂය ගැන වේවැල්දෙනිය ප්‍රදේශයෙන් ද මේ වන විට වාර්තා ලැබී ඇත.වේවැල්දෙනියේ සිදුකරන ලද පර්යේෂණවල දී විශේෂ 29කට අයත් මදුරුවන් 1883 දෙනෙකු අල්ලා ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු Cx.sp near infula විශේෂයට අයත්ය.

 

 

අඹේපුස්ස සහ වේවැල්දෙනිය යන ප්‍රදේශවලින් මේ දක්වා සොයාගත් Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් 19 දෙනාගෙන් 12 දෙනෙකුම අසු වී තිබුණේ කුකුළෙකු උගුල ලෙස යොදා ගත් අවස්ථාවේ දීය.

 

එබැවින් නව මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

 

නව මදුරුවාගේ ලක්ෂණ

 

නව මදුරු විශේෂය වෙන්කර හඳුනාගැනීමට උපයෝගී වන ප්‍රධාන බාහිර ලක්ෂණ දෙකක් ඇත.

 

ඉන් එක් ලක්ෂණයක් නම් මදුරුවාගේ පියාපත්වල 'Pepper salt structure' ලෙස හඳුන්වන "ගම්මිරිස් සහ ලුණු කුඩු ඉසින විට දක්නට ලැබෙන ස්වභාවයකි."

 

අනෙක් ලක්ෂණය වන්නේ එම මදුරුවාගේ පෘෂ්ඨයේ සුදු පැහැති ඊ හිස් වැනි සළකුණු දක්නට ලැබීමය.

 

මීට අමතරව අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට පාදවල සහ ශුන්ඩාවේ ද විශේෂ ලක්ෂණ දැකිය හැකිය.

 

Cx.sp near infula මදුරුවා ප්‍රමාණයෙන් මිලිමීටර 2-3ක් පමණ වන අතර, රාත්‍රි කාලයේදී වැඩි වශයෙන් දෂ්ට කරන බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් හඳුනාගෙන තිබේ.

 

මෙම මදුරු විශේෂය පළමු වරට වාර්තාවී ඇත්තේ 1966 වසරේ මධ්‍යම අප්‍රිකාවට අයත් ඇන්ගෝලා රාජ්‍යයෙනි. පසුව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත.

 

-BBCසිංහල

views

1895 Views

Comments

arrow-up