සිසුවාගේ පපුවටම වෙඩි තැබූ දොස්තර රක්ෂිත බන්ධනාගාරයට

මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාසයේ 2 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය.
තුවාල ලද සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මහරගම ඇරැව්වල සමගි මාවතේ පදිංචි තුවාල ලද සිසුවා ඔහුගේ සහෝදරයා හා මිතුරන් කිහිපදෙනකු සමග ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර බෝලය ක්‍රීඩාංගණයට යාබද සැකකරුගේ වත්තට ගොස් තිබූ බව පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටි කිහිප දෙනෙකු වත්ත අසලට ගොස් බෝලය ඉල්ලා ඇති අතර එහිදී සැකකාර වෛද්‍යවරයා එම පිරිසට බැණ වැදී නිවස තුළට ගොස් වායු රයිෆලය රැගෙනවිත් ඔවුන් දෙසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මෙම සිසුවා මිතුරකු සමග ක්‍රීඩාංගනයේ තාප්පය මත ඉඳගෙන සිට ඇති අතර ඔහුගේ පපු ප්‍රදේශයට එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාර වෛද්‍යවරයා නැවතත් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමේ දී ඔහු වෙත කඩා වැදුණු සෙල්ලම් කරමින් සිටි සෙසු තරුණයන් වෛද්‍යවරයා අත දරා සිටි වායු රයිපලය උදුරාගෙන දෙකට කඩා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
තුවාල වූ සිසුවාට ශල්‍යකර්මයකට ලක් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
''මානව හිතවාදී,ඒ වගේම මානව දයාවෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් ඉන්න මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකු අතින් මේ වගේ විශාල වරදක් සිදු වීම ගැන එම රෝහලේ ප්‍රධානියා විදියට වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමාව අයදිනවා'' යයි මහරගම අපේක්ෂා රෝහල විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.
මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
836 Views
Comments