රාජිත සේනාරත්න අධිකරණයට රැගෙන එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
13

රාජිත සේනාරත්න අධිකරණයට රැගෙන එයි

රාජිත සේනාරත්න අධිකරණයට රැගෙන එයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට  ඉදිරිපත් කර තිබෙනවා

 

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(13) නියෝග කළේය.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂන දෙපර්තමේන්තුවට භාර වූ බවයි. 

 

ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව එහි තෙවන සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉකුත් දෙසැම්බර් මස 30 වන දින නියෝග කළේය.

 

කෙසේ වෙතත් එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළ අතර එය කොළඹ මහාධිකරණ අංක 07 විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ සලකා බලනු ලැබුවේය.

 

අදාළ ප්‍රතිශෝධන පෙත්සමෙහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර ඒ සඳහා අධිකරණ කටයුතු ආරම්භ කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් හා සමාජ දුරස්තභාවයන් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්ය.

 

මෙහිදි ප්‍රතිශෝධන පෙත්සමට අදාළ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මංජුල තිලකරන්න මහතා සඳහන් කළේ මෙම නඩුවට අදාළව සැකකරු වග උත්තරකරුවෙකු ලෙස නම් කිරීමේ සිට ඔහු ක්‍රියා කර ඇති ආකාරය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී ඇති අකාරය තමන් දැඩි අධ්‍යනයකට ලක්කළ බවයි.

 

ඒ අනුව ඉකුත් වසරේ දෙසැම්බර් මස 24 වන දින සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ නිවස පරික්ෂාවට ලක්කලද ඒ වන විටත් ඔහු නිවසින් බැහැරව සිටිම කෙරෙහි විනිසුරුවරයාගේ අවධානයට යොමු වී තිබේ.

 

නිවෙසින් බැහැරව සිටි සැකකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඔහුගේ පවුලේ සමීපතමයින් නොදැන සිටීම සහ සැකකරුව දුරකතයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම සැකයක් උපදවන කරුණක් බව විනිසුරුවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

 

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදි  සැකකරු එම අවස්ථාවේ සමාන්‍ය තත්ත්වයක් යටතේ කොළඹින් බැහැර මිතුරෙකු හමුවීමට ගොස් සිටි බව ඔහුගේ නීතිඥයින් අධිකරණය හමුවේ පවසා තිබුණද එය කිසිසේත්ම පිළිගත නොහැක්කක් බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

 

විනිසුරු මංජුල තිලකරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ තමන්ට විරුද්ධව වරෙන්තුවක් නිකුත් වී ඇති බවක් සැකකරු නොදැන සිටි බව අධිකරණයට පවසා තිබුණද, ඒ පිළිබඳ දැනුවත්වීමටත්, දැනුවත් වු විගස අධිකරණය හමුවේ පෙනී සිටිමටත් සැකකරුට පැහැදිලි අවස්ථාවක් තිබී ඇති බවයි.

 

ඒ අනුව සැකකරු තමන් සිටි ස්ථානය වසන් කරමින් සැඟව සිට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණය හමුවට නොපැමිණිමේ අපෙක්ෂාවෙන් යැයි තමන් නිගමනය කළ බව මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගය තුළ පෙන්වා දුන්නේය.

 

මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය තුළ ඇප ලබා නොදීමට තරම් ප්‍රබල කරුණු තමන් හමුවේ අනාවරණය නොවු බව දක්වා තිබුණද, සිදුව ඇත්තේ වැදගත් කරුණු මහෙස්ත්‍රාත්වරියගේ අධිකරණමය මනසින් ගිලිහීම බවයි.

 

රැදෙවියෙකුගේ යම් රෝගි තත්ත්වයකදි ප්‍රතිකාර ලබාදිය හැක්කේ රජයට අනුබද්ධ රෝහලකින් පමණක් බව බන්ධනාගාර ආඥා පණතේ පැහැදිලිව දක්වා තිබුණද මෙම සැකකරුට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමට ඉඩ ලබාදීම තුළින් පණතේ විදි විධාන දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව විනිසුරුවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

 

විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේ එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් එවැනි විශේෂිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ නම්, බන්ධනාගාරගතව සිටින දහස් සංඛ්‍යාත රැදවියන්ටත් එම අයිතිය දිය යුතු නොවේද යන්නයි.

 

එබැවින් මෙම අවස්ථාවේ සැකකරුව අදාළ පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කිරීම මහෙස්ත්‍රාත්වරිය විසින් කළ යුතුවම තිබුණද, එවැන්නක් සිදුව නොමැති බව විනිසුරුවරයා සිය නියෝගය තුළින් පෙන්වා දුන්නේය.

 

එසේම අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි දෙසැම්බර් මස 26 වන දින නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වී මෙම සැකකරු තම රෝගි තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ වසර 2ක් පැරණි වෛද්‍ය වාර්ථාවක් බවද මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගය ලබා දෙමින් කියා සිටියේය.

 

අදාළ වෛද්‍ය වාර්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අවධානයට ලක් වී නොමැති බව පෙන්වා දුන් විනිසුරු මංජුල තිලකරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ එම අවස්ථාවේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් හෝ වාර්තාවක් කැඳවිමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කටයුතු කර නොමැති බවයි.

 

එබැවින් මෙම නියෝගයේ දෝශ සහිත ස්වභාවය මගින් අධිකරණයේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන ආකාරයේ යුක්තිය අවගමනයක් සිදුව ඇති බැවින් තම අධිකරණයට ඇති ප්‍රතිශෝධන බලය ප්‍රකාරව ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන ඉල්ලීමට ඉඩදෙන බව විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය දිර්ඝ කරුණු පැහැදිලි කිරීම අවසානයේ සඳහන් කළේය.

 

ඒ අනුව ප්‍රශ්නගත සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් වු නඩුවේ තෙවන සැකකරු ලෙස නම්කර සිටින රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඉකුත් දෙසැම්බර් මස 30 කළ නියෝගය මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අවලංගු කරනු ලැබුවේය. 

 

සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණ නියෝගයට අදාළව ඉදිරි පියවරගන්නා ලෙසද සිය නියෝගය අවසානයේ මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට  නියම කළේය.

 

මහාධිකරණය විසින් අදාළ ඇප නීයෝගය අවලංගු කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඒ පිළිබඳ කරුණු දක්වා සිටියේය.

 

කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මෙනෙවිය සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද පස්වරුවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සොයා නො. 653 මුරුත්තෙට්ටුගල පාර, තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණියේය. 
 

views

665 Views

Comments

arrow-up