නිවසේ සිට වෙසක් සමරන්න - රජය ජනතාවගෙන් ඉල්ලයි

උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙමින් නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කි‍්‍රයාකරන ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙන්නේ.
ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි. බුදු රජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වනුයේ ප්‍රඥාව හා කරුණාවයි. සෑම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකම ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙහෙර විහාරස්ථානවල පිංකම් පැවැත්වුණ ද මෙවර එම සියලු වැඩසටහන් නිවසේ සිට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දී තිබෙනවා.
සිදුහත් කුමරුගේ උපත, සියළු කෙලෙස් නසා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන්පෑම සිදුවූයේ අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනකදීයි. අප්‍රමාණ වූ සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ නමින් ලුම්බිණි සල් උයනේදී උන් වහන්සේ උපත ලැබුවා. බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සදහන්. වසර හයක් පුරා දුෂ්කර ක්‍රියා කරමින් බුද්ධත්වය උදෙසා උන්වහන්සේ අපමණ වෙහෙසක් දැරුවා.
බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල දැඩි අධිෂ්ඨානයෙන් වැඩ සිටි අප බෝසතාණන් දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත්වූනා. ලෝ වැසියන්ට සසරේ අඳුරු සෙවණැලි දුරු කරවන සදහම් මාවත පෙන්වා දුන් උන්වහන්සේ කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණය කරා එළඹියේ ද අද වැනි වෙසක් පුන් පොහෝදිනකදීයි. බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ ලක්දිව කැලණි පුරයට වැඩම කළා. රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම සහ එහි බිම සකස් කිරීම යන කරුණු දෙකම වෙසක් පොහෝ දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
735 Views
Comments