ආණ්ඩුවේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය අන්තර්ජාලයට

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, වියනගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වන රජයේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.
රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මෙන්ම සියලු රාජ්‍ය ආයතන ඔවුන්ගේ විෂය පථයට අදාළ කාර්යයන් හා ප්‍රතිපත්ති මෙම නව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වන සේ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කෙරේ.
2020 - 25 කාලපරිච්ඡේදය තුළ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5% ක් හෝ ඉහළ මට්ටමක පවත්වාගෙන යාම, ඇ.ඩො. 6500 ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් ළඟා කරගැනීම ප්‍රධාන කොට මෙම නව රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කර ඇත. මෙම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ පහත දස ප්‍රතිපදාවන්ගෙන් යුත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සබඳතා ඇතුළත් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගනු ඇත.
ජාතික ආරක්ෂාවට මුල්තැන දීම, මිත්‍රශීලී හා නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, පිරිසිදු රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම, ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දීම, ඵලදායී පුරවැසියෙක් සහ සශ්‍රීක මානව සම්පතක් ඇති කිරීම, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් හඳුන්වා දීම, තාක්ෂණය මත පදනම් වන සමාජයක් බිහිකිරීම, භෞතික සම්පත් සංවර්ධනය කිරීම, තිරසාර පරිසර කළමනාකරණයක් සිදුකිරීම සහ විනයගරුක, නීතිගරුක හා ගුණගරුක සමාජයක් ඇතිකිරීම මෙම ජාතික ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ගත වනවා.
රැකියා විරහිත අනුපාතය 4% ක අඩු මට්ටමක හා උද්ධමන වේගය 5% ට අඩු මට්ටමක පවත්වාගෙන යාම මෙන්ම අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ට වඩා අඩු අගයක පවත්වා ගැනීමට අවශ්‍ය රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණයක්ද මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් අපේක්ෂා කෙරේ. පොලී අනුපාතය තනි ඉලක්කමකට පවත්වාගෙන ගොස් රුපියලේ අගය ස්ථාවර මට්ටමක තබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළද මෙම ප්‍රතිපත්ති රාමුව හරහා දියත් කිරීමට මාර්ගෝපදේශ ලබාදී තිබෙනවා.
නව රජයේ නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය, මහා භාණ්ඩාගාරයේ www.treasury.gov.lk යන වෙබ් අඩවියට භාෂා තුනෙන්ම නිකුත් කර ඇත.
758 Views
Comments