ජනාධිපතිවරණයේදී තමන් මැතිවරණ නීති කැඩූ බව කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ පිළිගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
06

ජනාධිපතිවරණයේදී තමන් මැතිවරණ නීති කැඩූ බව කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ පිළිගනී

ජනාධිපතිවරණයේදී තමන් මැතිවරණ නීති කැඩූ බව කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ පිළිගනී

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කළ සුවිශේෂී කාර්යභාරය කුරුණෑගල දිස්ත්‍රික් වියත්මග සංවිධානයේ විධායක කමිටුවේ ඇගයීමට ලක්ව ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි. 

 


ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ඊට අදාළ ඡායාරූප ද පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. 

 

 

කෙසේවෙතත් රෝහල් අධ්‍යක්ෂවරයකු මෙන්ම වෛද්‍යවරයකු ද වශයෙන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අයත් වන්නේ දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරීන් ගණයටය. ඔවුන්ට මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිදු දේශපාලන කටයුත්තක යෙදීම තහනම්ය. මේ බව සිහිපත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණි. 

 

ඒ අනුව පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ සරත් වීරබණ්ඩාර මහතා 2019 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසමේ චක්‍රලේඛයට සහ නීතියට පිටින්, එම නීති කඩ කරමින් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කර ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇති බවයි. 

 


අනෙක් අතට සරත් වීරබණ්ඩාර මහතා දේශපාලනික කටයුත්තක් වශයෙන් කළේ ද වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධ සිද්ධියේදී අසත්‍ය තොරතුරු ජනගත කරමින් ජාතිවාදය වැපිරීම පමණි. වියත්මග සංවිධානය විසින් එය ඇගයීමට ලක් කරන්නේ නම් ඔවුන් සාෆිගේ සිද්ධියට අදාළව ජාතිවාදය වපුරා එය මැතිවරණ ජයග්‍රහණය උදෙසා භාවිතා කළ බව ද මෙයින්ම ඔවුන් විසින්ම තහවුරු කෙරේ. 

 


රජයේ නිලධාරීන් මැතිවරණ නීති කඩකර, ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ උදම් ඇනීමත් ජනාධිපතිවරයා වෙනුවෙන් සෘජුවම පෙනී සිටින වියත්මග සංවිධානය ඒවා අගය කිරීමත් කොහෙත්ම සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. 

 

 

views

1262 Views

Comments

arrow-up