පොලීසියේ තවත් නොහැකියාවක් පාස්කු කොමිසමේදී හෙළිවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

පොලීසියේ තවත් නොහැකියාවක් පාස්කු කොමිසමේදී හෙළිවේ

පොලීසියේ තවත් නොහැකියාවක් පාස්කු කොමිසමේදී හෙළිවේ

සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු මොහොමඞ් රිල්වාන් ඇතුළු සිව්දෙනෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී කාත්තන්කුඩි පොලීසිය විසින් එය නොසලකා හැර ඇති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. 

 

ඒ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ එවක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප‍්‍රභාත් කස්තුරිආරච්චි, කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි. 

 

ඔහු 2017 වසරේ අගෝස්තු මාසයේ සිට 2020 ජනවාරි මාසය දක්වා කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ, ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා. සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළේ 2017 මාර්තු 10 වන දින කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ දී සහරාන් හෂීම් සහ රාවුෆ් මවුලවීගේ මැදිහත්වීමෙන් ජාතික තව්හිද් ජමාත් සහ සුන්නතුල් වල් ජමාත් යන සංවිධාන අතර ගැටුමක් ඇතිවූ බවයි.

 

කඩු, කිණිසි සහ පෙට‍්‍රල් බෝම්බ යොදාගත් මෙම ගැටුමෙන් පසු සහරාන් හෂීම්, මොහොමඞ් රිල්වාන්, ආමි මොහොමඞ් සහ යූසුෆ් අන්වර් යන පුද්ගලයන් එම ප‍්‍රදේශයෙන් පලාගොස් සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළා. තමන් සේවයට වාර්තා කරන විටත් මඩකලපුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් පැවතියත් ප‍්‍රදේශයෙන් පලාගොස් සිටි සහරාන් ඇතුලූ පිරිස අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි සාක්ෂිකරු මෙහිදී සදහන් කළේ. 

 

එහිදී කොමිසම, සාක්ෂිකරුගෙන් විමසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබානොගත්තේ මන්දැයි යන්නයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලැබී නොතිබුනු නිසා පාස්කු ප‍්‍රහාරය සිදුවන තෙක්ම වරෙන්තු ලබාගැනීමට නොහැකි වූ බවයි. මේ පිළිබද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කළේදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. එහිදී සාක්ෂිකරු සදහන් කළේ තමන්ට ඒ පිළිබද මතකයක් නොමැති බවයි. 

 

කෙසේවෙතත් අධිකරණ වාර්තා පරීක්ෂා කළ ජනාධිපති කොමිසම එහිදී සදහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව 2018 වසරේ ජනවාරී මස 30 වැනිදා මඩකලපුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත නිකුත් වී තිබූ බවයි. ඒ පිිළිබද දැන සිටියේ නැද්දැයි  කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. සාක්ෂිකරු එහිදී සදහන් කළේ තමන් ඒ ගැන නොදන්නා බව හා එම නිසා වරෙන්තු ලබාගැනීමක් සිදු නොකළ බවයි. කොමිසම එහිදී පෙන්වා දුන්නේ, රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නොසිට, සහරාන් ඇතුලූ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ අන්තර්ගත බවයි. 

 

ඒ අනුව මාරක ආයුධ ඇතිව නීතිවිරෝධී රැුස්වීමකට සහභාගීවීම, මාරක ආයූධ ඇතිව කැරලි ගැසීම වැනි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි එලෙස බී වාර්තාවේ අන්තර්ගත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසම හමුවේ සදහන් කළා. 

 

මේ සම්බන්ධයෙන් එවක පරීක්ෂණ සිදුකළ පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලකට සහරාන් විසින් ෆෙස්බුක් ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇති බවද කොමිසම විසින් එවක ස්ථානාධිපතිවරයාට ප‍්‍රකාශ කර සිටියා. එහිදී කොමිසම විමසුවේ මෙම කරුණු පිළිබදව අවධානය යොමු නොවුණේ නම් අවම වශයෙන් සැකකරුවන් පලාගොස් සිටියදී සහරාන් හෂීම්ගේ පියා හෝ පවුලේ සාමාජිකයින්ගෙන් ඔවුන් පිළිබඳ ප‍්‍රකාශ සටහන් කර ගත්තේද යන්නයි. එහිදී සාක්ෂිකරු ‘‘නැත’’ යනුවෙන් පිළිතුරු ලබාදුන්නා. 

 

එහිදී කොමිසම ප‍්‍රශ්න කළේ සහරාන් ඇතුලූ පිරිස 2018 වසරේදී වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි ඇති බව දැන් ඔබ පිළිගන්නේද යන්නයි. සාක්ෂිකරු එහිදී සාක්ෂි ඇති බව පිළිගත්තා. එසේ නම් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි නොමැති බවට ප‍්‍රකාශයක් කළේ මන්දැයි කොමිසම එහිදි සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු කියා සිටියේ තමන් සිදුකළ එම ප‍්‍රකාශය වැරදි බවයි. ඔබේ රාජකාරිය ඔබ හරියාකාරයෙන් ඉෂ්ඨ කර නොමැති බව  පිළිගන්නේදැයි කොමිසම යලි සාක්ෂිකරුගෙන් විමසු අවස්ථාවේ සාක්ෂිකරු නිහඩව සිටියා.

 

views

768 Views

Comments

arrow-up