පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදියුදීන්ගෙන් ප්‍රශ්න කරන්න CIDය සුදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදියුදීන්ගෙන් ප්‍රශ්න කරන්න CIDය සුදානම්

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදියුදීන්ගෙන් ප්‍රශ්න කරන්න CIDය සුදානම්

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදීන්ගෙන් හා රාවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්වන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද(23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.

 

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාලව සිදුකෙරෙන නඩු විභාගය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ යළිත් කැඳවනු ලැබුවා.

 

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ද අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පරීක්ෂණයට අදාලව ඉකුත් නඩු දිනයේ දැනුම් දුන් පරිදි හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය සූදානම් වන බවයි.

 

මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා,හිටපු අග්‍රාමාත්‍යවරයා සහ වත්මන් කතානායකවරයාට දැනුම් දී තිබුණත්  ඔවුන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අදාල දින මෙතෙක් ලබා දී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

 

ඉදිරි විමර්ශන මෙහෙය වීම සඳහා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම බෙහෙවින් වැදගත් වන හෙයින් යම් අයකු ප්‍රකාශ ලබා දීම හිතා මතා මඟ හරින්නේ නම් ඒ සඳහා ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

 

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම පරීක්ෂණයට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්වන බවයි.

 

නත්තල් අවසන් වීමෙන් පසුව කාදිනල් හිමිපාණන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු ද දන්වා සිටියා.

 

ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගෙන්  ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

views

1096 Views

Comments

arrow-up