රාජගිරිය අරුණෝදය මාවත ප්‍රදේශය වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

රාජගිරිය අරුණෝදය මාවත ප්‍රදේශය වසා දැමේ

රාජගිරිය අරුණෝදය මාවත ප්‍රදේශය වසා දැමේ

පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.

 

එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ. එකී ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.

 

ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.

 

විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.

 

අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසීය.

 

මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.

 

මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසීය.

 

වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසීය. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගි විය.

– lankadeepa

views

733 Views

Comments

arrow-up