කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට…
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට…

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට…

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. ඒ සදහා පි.සී.ආර් පරික්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළේ කඩිනමින් ස්ථාපනය කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති  ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි , යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සෞඛ්‍ය, ගුවන් තොටුපළ හා ආරක්ෂක අංශ නිළධාරීන් සමග කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. කටුනායක ගුවන් තොටුපළින් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාධිතයෙකු දිවයිනට ඇතුළුවීම වැළැක්වීම සදහා මෙතෙක් ගෙන ඇති පියවර හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කළහ.

 

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගුවන් තොටුපළ තුළට පැමිණි පසු සෞඛ්‍ය ආරක්ෂිත ව  ආගමන විගමන කටයුතු සිදු කෙරෙන ආකාරය හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සදහා ගුවන් තොටුපළින් පිටතට රැගෙනවිත් බස් රථ වෙත ගොඩ කිරීම දක්වා වු ක්‍රියාවලිය ද ඔවුන්ගේ දැඩි පරීක්ෂාවට ලක්විය. මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගුවන් තොටුපළින් රටට කොවිඩ් 19 වසංගතය ඇතුළුවීම වැළැක්වීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි. එහි දි කඩිනමින් ගුවන් තොටුපළේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ස්ථාපිත කොට දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව ගුවන් තොටුපළ සභාපති විශ්‍රාමික මේජර් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා ඊට අදාළ ස්ථානය වෙන් කර අවශ්‍ය ඉදිකිරීම් කර දීමට එකග වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශවයෙන් ඊට අදාළ අනෙකුත් පහසුකම් ලබාදීමට මෙහිදී තීරණය කෙරිණ. ඒ අනුව ඉදිරි දින කීපය තුළ එම පරීක්ෂණාගාරය ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපනය කෙරෙනු ඇත.

 

මෙහි දි අදහස් දැක්වු සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ කටුනායක ගුවන් තොටුපළින් කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට ගුවන් තොටුපළ, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කාර්යය මණ්ඩල ගත හැකි, ගත යුතු සියළු පියවර ගෙන තිබෙන බවයි. ගුවන්තොටුපළ සේවය කරන ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ හා ගුවන් තොටුපළ සේවකයන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා ද අවශ්‍ය පියවර ගෙන ඇති බව ඇමතිවරිය සදහන් කළාය. තමන් ගුවන් තොටුපළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය පිළිබද 100% ක්ම සෑහිමට පත් වන බව ද ඇය කීවාය.

 

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ගුවන් තොටුපළ නැවත මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබද ව  මෙම නිරීක්ෂණ චාරිකාවේ දී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල අවධානය යොමු කළ බවයි. ජූලි මස අග දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒම සිදුවන බවත් අගෝස්තු මුල දී ගුවන් තොටුපල විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට අදහස් කරන බවත් පැවසූ ඇමතිවරයා කොවිඩ් 19 දිවයිනට ඇතුළුවීම වැළැක්වීම සම්බන්ධයෙන් තවත් පියවර රැසක් ඉදිරියේ දී ගන්නා බව ද කීවේය. ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ගේ මෙන්ම ගුවන් තොටුපළ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වල කාර්ය මණ්ඩල වල සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව ද මෙහිදී අවධානය යොමු වූ බව ඇමතිවරයා කීවේය.

views

595 Views

Comments

arrow-up