ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවිය හැකියි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න - මැ.කො. ජනපතිට දන්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ජුනි 02 වනදාට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතු වුවත් පවතින තත්වය යටතේ ඒ වනවිට මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුවක් පත්කර ගත නොහැකි වනු ඇති නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් පැන නැඟිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඔවුන් දැනුම් දී ඇත්තේ ජුනි 02 වනදාට පෙර නව පාර්ලිමේන්තුවක් රැස්වීමට නම් මැයි මස අවසන් සතියේදීවත් මහමැතිවරණය පැවැත්විය යුතු බවත් එසේ කිරීමට නම් ඊට සති 5කටවත් පෙර, එනම් අප්‍රේල් 20 වනදා වනවිටවත් රට සාමාන්‍ය තත්වයට පත්විය යුතු බවයි.
එහෙත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ වනවිට සිදුවන ආකාරය අනුව අප්‍රේල් 20 වනදා වනවිට බාධාවකින්, බියකින් තොරව මැතිවරණ කටයුතු ආරම්භ කළ හැකි තත්වයක් උදාවනු ඇතැයි උපකල්පනය කිරීම ප්‍රායෝගික නොවන බවයි ඔවුන් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව මින් ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවිය හැකි බැවින් මේ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයා වෙත මාර්තු 31 වනදා දැනුම් දී තිබේ.
එසේම මාර්තු 31 වනදා කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීම නිරීක්ෂණය කළ මැතිවරණ කොමිසම යළි හදිසි ලිපියක් නිකුත් කරමින් අප්‍රේල් 01 වනදා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී ඇත්තේ එම තත්වය අනුව පැහැදිලිවම මැතිවරණය මැයි මස අග පැවැත්වීමට නොහැකි නිසා මේ පිළිබඳ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය විමසීම සුදුසු බවයි.
696 Views
Comments