සොයා දෙන්න - රවී තවමත් ආගිය අතක් නැහැ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිවස වෙත අද (07) පෙරවරුවේ ද ගොස් තිබෙනවා. එහෙත් ඔහු නිවසේ නැති බවයි වාර්තා වන්නේ.
බැදුම්කර චෝදනාවට අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් වූ රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සදහා නිලධාරීන් ඔහුගේ නිවස වෙත ඊයේ (06) පස්වරුවේ ද ගොස් තිබෙනවා. බත්තරමුල්ල පාර්ලිමේන්තු මාවතේ පිහිටි රවී කරුණානායක මහතාගේ නිවස අවට ඒ වන විටත් මාධ්‍යවේදීන් පිරිසක් රැදී සිටියා. රවී කරුණානායක මහතා නිවසේ ඇත්දැයි එහිදී අප මාධ්‍යවේදියා විමසා සිටි අවස්ථාවේදී නිවසේ සිටි අයෙකු දැනුම් දී ඇත්තේ ඔහු නිවසේ නොමැති බවයි. කරුණානායක මහතා ඇතුළු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලත් 10 දෙනකු අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (06) පස්වරුවේ වරෙන්තු නිකුත් කළා.
හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු දස දෙනෙකුට එරෙහිවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පස්වරුවේ වරෙන්තුව නිකුත් කළේ. ඒ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය හමුවේ මෙම පිරිසට එල්ල වී ඇති චෝදනා පිලිබද දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමින්. මෙම නඩුවේ දහවන සැකකරු ලෙස නම් කර සිටි බුද්ධික සරචන්ද්‍ර මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට එරෙහිව සිතාසි නිකුත් කිරීමක් සිදු වූයේ නැහැ.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලබන 18 වනදා අධිකරනය හමුවේ පෙනී සිටින ලෙසද සිතාසි නිකුත් කෙරුණා. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අයුතු ලාභයක් ගෙන දෙන අයුරින් සැකකරුවන් බැදුම්කර වෙන්දේසියේදී කටයුතු කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සදහන් කළේ.
2016 වසරේ මාර්තු 29 සහ 31 යන දෙදින තුල සිදු වූ මෙම බැදුම්කර වංචාවට අදාළව සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා. 2016 මාර්තු 29, 31 යන දිනවල සිදු වූ බැදුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 51.59 ක මුහුණත වටිනාකමින් යුතු භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළදපොල හැසිරවීම ආදී චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොණු කර තිබුණා. නඩුව කැදවූ අවස්ථාවේ වරෙන්තු නිකුත් කිරීමට පෙර අධ්‍යයනය කල යුතු ප්‍රශ්න කිහිපයක් ඇති බව පවසමින් ප්‍රශ්නාවලියක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත නිකුත් කෙරුණා.
එම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පිලිතුරු ලබා දුන් අතර එහිදී නැවතත් අධිකරණය කල් තබමින් පස්වරු 05.50ට පමණ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. පොදු දේපලක් වූ භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුව ඇති බවත් එය පොදු දේපල විෂයෙහිලා ගැනෙන වරදක් බවත් නියෝගය ලබාදීමේදී සැලකිල්ලට ගැනුණා. එමෙන්ම බැදුම්කර වෙන්දේසියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව යන රාජ්‍ය බැංකු 03 වෙන්දේසියට ඉදිරිපත් වීමේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා යම් යම් සීමා පනවමින්ද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිලධාරීන්ට සීමා පනවමින් කටයුතු කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
පළමු සැකකාර සමාගම වන පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට අයුතු ලාභයක් උපයාගැනීමට ඉඩකඩ සලසා දෙමින් පොදු දේපල සාවද්‍යව පරිහරණය කර ඇතැයිද මහේස්ත්‍රාත්වරයා සදහන් කළා.
නියෝගය නිකුත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටිනවා.මෙම පිරිස අතරින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා මේ වන විට පදිංචි නිවසේ නොමැති බවත් ඔහු රෝහල් ගත්වීමේ සූදානමකින් පසුවන බවටත් තොරතුරු වාර්තා වනවා.
1679 Views
Comments