ජීවිත අවදානම් සහිතව මැතිවරණ රාජකාරීවල යෙදීමට සූදානම් නෑ – රාජ්‍ය සේවා වෘත්තීය සමිති

මෙවැනි අවදානම් සහගත වාතාවරණයක් තුල මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් යළිත් මතු වී ඇති බවත් මැතිවරණයක් පවත්වන්නේ නම් එහි අනිවාර්යය අංගයක් වන්නේ එම කටයුතු වෙනුවෙන් රාජ්‍ය සේවකයා ඒකරාශී කරවමින් සේවයේ යෙදවීම බව රාජ්‍ය සේවා කළමණාකාර සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.
එය පූර්ව මැතිවරණ සමයේදී සැලකිය යුතු කාලයක් ගත යුතු බවත් අනතුරුව ඡන්ද විමසීමේදී හා ගණන් කිරීමේදී මුලු රටපුරාම මහජනතාව සමග ගැවසෙමින් කටයුතු කළයුතු වන්නේද රාජ්‍ය සේවකයා බවත් පවතින වාතාවරණය යටතේ එවැනි කටයුතුවල නිරතවීම රාජ්‍ය සේවකයාට මරණයට අතවැනීමක් විය හැකි බවද එම සංගමය කොමසාරිස්වරයා වෙත දන්වා ඇත.
ලොවම බිළිගත් කොරෝනා වසංගත තත්වය පවතිද්දී මහ මැතිවරණය පැවැත්වීම නිසා සිදුවිය හැකිව තිබූ මහ විනාශයකින් රටත්, ජනතාවත් මුදා ගැනීමට හැකිවූයේ මැතිවරණ කොමසාරිස්වරයාත්, එම කොමිසමත් ගත් නිවැරදි හා දුරදක්නා තීරණය නිසා බවත් මෙහිදී එම සංගමය පවසයි.
එබැවින් මෙම කොරෝනා වසංගත තත්වය පූර්ණ ලෙස පහව යනතුරු මැතිවරණ රාජකාරීවල රාජ්‍ය සේවකයින් යෙදවීම පිළිබඳව තම සංගමය විරෝධතාවය පලකර සිටින බවත් එය තම සංගමය නියෝජනය කරන සේවාව මෙන්ම මැතිවරණ රාජකාරී සඳහා යොදවනු ලබන සමස්ත රාජ්‍ය සේවකයින්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් බවද පවසා ඇත.
එම නිසා කොමිසම සතු බලතල යොදා ගනිමින් රට පූර්ණ ලෙස කොරෝනා වසංගත තත්වයෙන් මිදෙන තුරු මැතිවරණ නොපැවැත්වීමේ තීරණය ගන්නා ලෙසත් එසේ නොමැතිනම් ජීවිත අවදානම දරාගනිමින් මැතිවරණ රාජකාරීවල නොයෙදීමේ තීරණයක් ගැනීමට වෘත්තීය සමිති ලෙස කටයුතු කිරීමට සිදුවන බවද එම සංගමය පවසා ඇත.
911 Views
Comments