දරුවන්ව විභාග සදහා නිවැරැදිව සූදානම් කරමු

ඔබේ දරුවාත් ඉදිරියේදී විභාගවලට සදහා සූදානම් වනවා ද ? එසේ නම් මෙය දෙමාපිය ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුම ලිපියක්. විභාගයක් කියලා කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක් කිවහොත් නිවැරැදියි. මන්ද මොන තරම් දැනුම තිබුණත් යම් අවස්ථාවන් වලදී අමතක වීම්, අතපසු වීම් හෝ කාලය නිසියාකාරව කලමනාකරණය කරගැනීමට නොහැකි වන්නට පුළුවන්. ඔබේ දරුවා කොතරම් දක්ශ අයෙකු වුවත් ඔවුන් ටද ඕනෑම මොහොතක මෙසේ වීමට ඉඩකඩ වැඩි බව මතක තබා ගන්න.
පළමු ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන කුඩා දරුවාගේ පටන්ම අවසන් ශ්‍රේණි දක්වාම ඉගෙනුම ලබන සෑම දරුවෙක්ම මේ විභාග නිසා හරි ම කාර්‍යබහුල ජීවිතයක් ගෙවන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. හැම අම්මා තාත්තා කෙනෙක්ම කැමතියි තමන්ගේ දරුවෝ විශිෂ්ට ජයග්‍රහණය ලබා ගන්නවට. එය ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එනිසා දෙමාපිය අපි දරුවාව හැකිතාක් දුරට අධ්‍යාපන මට්ටමින් ඉදිරියට ගෙනියන්න උත්සාහ දරනවා. නමුත් ඔබ විශේෂයෙන් මේ ගැනත් සිතිය යුතුයි. ඒ ඔබගේ දරුවා ඒ සදහා යොමු කිරීමේදී මානසික වශයෙන් ඔහු හෝ ඇයව පීඩනයට පත් නොකිරීමයි.
ඔවුන්ව සෑමවිටම පොතපතටම යොමු නොකරන්න. පාසලේදී මෙන්ම නිවසෙදී ද පුද්ගලිකව දරුවා කැමති විෂය බාහිර ක්‍රියාකාරකමක් සදහා ඔහුට හෝ ඇයට අවස්ථාවක් දෙන්න. අමතර පොත්පත් කියවීමට, ඉදහිට හෝ රූපවාහිනීයේ ඔවුන්ට වැදගත් වෙන වැඩසටහනක් බැලීමට හෝ සෙල්ලම් කිරීමට පොඩි හෝ ඉඩක් ලබා දෙන්න. එසේම ඔබගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු පිලිබඳව ඔබ මනා දැනුමකින් යුතුව කටයුතු කළ යුතුයි. ඔහු හෝ ඇය සමග නිතර ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. ඔවුන්ගේ දුර්වලතා හදුනගෙන ඒවාට පිළියම් යොදන්න. සෑමවිටකම දරුවා තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කරවන්න. පාසල් කටයුතු මෙන්ම අමතර පංති යන මේ සියල්ලම ක්‍රමානුකූලව පෙළගස්වා ගැනීම සිදු කරන්න.
දරුවන්ට අධ්‍යාපනයේ ජයග්‍රහණයක් ලබන්න නම් අනිවාර්යයෙන්ම නිසියාකාරව දරුවාව හසුරවා ගැනීමට දෙමාපියන් වන ඔබට සිදු වෙනවා. එසේම විභාගයන් සමත් වීමට දරණ උත්සාහය අතරම, ලැබෙන ප්‍රතිඵල කුමක් වුවත් එය බාර ගැනීමට ඔබටත් ඔබේ දරුවාටත් ආත්ම ශක්තියද අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. විභාගයකින් අසමත් වනවා කියන්නේ ජීවිතයම පරාද වූවා කියන එක නෙවෙයි. එක් විභාගයකින් අසමත් වුවහොත් නැවත උත්සාහ කිරීමට හැකි වේවි. නමුත් ඔබේ දරුවා ජීවිතයෙන් පරාද වුවහොත් නැවත කිසිදා ජයග්‍රහණයක් ලබා ගතනොහැකි වනු ඇත. එනිසා ලද දෙයින් සතුටු වී, වැරදුනු තැන් නිවැරදි කරගෙන ඉදිරි අනාගතය ජය ගැනීමට ඔබේ දරුවාට හොද මාර්ගෝපදේශකයකු වන්න. දරුවා සමගම ඉදිරියට යන්න. එවිට නිතරගයෙන් ම ඔබගේ දරුවා ජීවිත විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා ගනීවි.
by Kaushalya De Silva
675 Views
Comments