විභාගයට සතියයි! ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න TIPS මෙන්න
වර්තමානයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් බහුතරයක් විභාග යැයි කියූ සැණින් දක්වන්නේ අකමැත්තක්. නමුත් සාර්ථකව ඒ සඳහා සූදානමක් පවතී නම් විභාගය යනු භියවිය යුතු දෙයක් නොවේ. විභාගයකට මුහුණ දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් දූ දරුවන් දැනුවත් කරන්නටයි මේ සූදානම.
ප්‍රශ්න පත්‍රය දුන් විගස එහි ඇති උපදෙස් සුපරික්ෂාකාරීව කියවන්න. ඉන්පසු විභාග අංකය හෝ නම, විෂය අංකය ආදී අවශ්‍ය කරුණු සියල්ලක්ම නිවැරදිව ලියා දක්වන්න. ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී ප්‍රශ්න හොඳින් කිහිප වරක් කියවා තේරුම්ගත යුතුයි. ඇතැම් ශිෂ්‍යයන් ප්‍රශ්න පත්‍රයේ අසන ප්‍රශ්නයට නොව තම මනසෙහි පවතින ප්‍රශ්නයක්, බොහෝ විට පැමිණේ යැයි අනුමාන කළ ප්‍රශ්නයක් සිතෙහි රඳවාගෙන එයට පිළිතුරු සපයයි. එබැවින් ඔබ ප්‍රශ්නය කිහිප වරක් කියවීම අනිවාර්යයයෙන් සිදුකළ යුතුයි. ඇතැම් විට ඔබට ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ආරම්භ කිරීමට අපහසු බව හැඟෙනු ඇත. එවිට තමාට ඉතා හොඳ යැයි සිතන පිළිතුරක් මනසට නැගෙන තෙක් බලා නොසිට සිතට එන පළමු පිළිතුරම ලියන්න. ලිවීම ඇරඹුණු පසු ඔබේ මනසට ඉබේම කරුණු ගලා එනු ඇත. ඉන්පසු පළමුව දියුණු කොටස එනම් සුදුසු නොවන බව හැගුණහොත් එය නිවැරදි කිරීමට ඔබට පුළුවනි.
ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ දී එහි අත්අකුරු අලංකාර නොවූවද කියවිය හැකි පැහැදිලි අකුරු විය යුතුයි. ඔබ කොපමණ හොඳින් දක්ෂ ලෙස පිළිතුරු සැපයුවද, එය ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරයාට කියවිය නොහැකි වුවහොත් කුමක් සිදුවේදැයි ඔබම සිතන්න. ඔබට යම් ප්‍රශ්නයක් අපැහැදිලි නම් විභාග ශාලාධිපතිගෙන් ඒ පිළිබඳව විමසන්න. ඔහු හැකි පමණ උපකාර කරනු ඇත. ඔබ පිළිතුරු ලිවීමේදී අවශ්‍ය සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සිදු කරන්න. හිස් තැනක් තබනවාට වඩා ඇතැම් විට ඔබ ලියූ එක් කරුණකට හෝ ලකුණු දශම ගණනක් හෝ ලැබීමට ඉඩ ඇත. එමෙන්ම ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී ප්‍රශ්නය නැවත ලිවීම ද කිසිසේත් නොකළ යුතුයි. එය අනවශ්‍ය දෙයක් වන අතර එමෙන්ම ඔබ වරක් ලියූ කරුණක් නැවත වෙනත් වචන යොදා ලිවීමද නොකළ යුත්තකි. ඔබට ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට කාලවේලාව මදි වුවහොත් දළ පිළිතුරු හැකිතරම් කෙටියෙන් සපයන්න. එමගින් ඔබට අත්‍යවශ්‍ය ලකුණු හිමිකර ගැනීමට හැකිවනු ඇත.
ඔබගේ පිළිතුරු අනවශ්‍ය ලෙස ඉඩ භාවිතා කරනවාට වඩා ප්‍රයෝජනවත් කරුණු ගෙන හැර දැක්වීමක් බවට පත් කරගන්න. එබැවින් අනවශ්‍ය ලෙස වාක්‍ය දිගු නොකර අවශ්‍ය ප්‍රමාණයට පමණක් පිළිතුරු සපයන්න. එවිට ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරයාට වුවද ඔබේ පිළිතුරු කියවීමේදී උදාසීන ස්වභාවයක් ඇති නොවේවි. එමෙන්ම අනවශ්‍ය ලෙස පිළිතුරු කෙටිව සැපයීමට උත්සාහ කිරීමෙන් ද වැළකිය යුතුයි. එලෙස වුවහොත් ඇතැම් විට විභාග ලකුණු පටිපාටියේ අඩංගු ඇතැම් කරුණු ඔබ දැන දැනත් මඟහැරී යා හැකි නිසාවෙනි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
490 Views
Comments