ගිනි ගත් නැව ගැන සොයන්න CID යේ 10 ක්

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක්වූ එම්.ජී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් අද දිනයේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා. අදාල නෞකාවේ ගින්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව අද දිනයේදී වැල්ලවත්ත ප්‍රදේශයේ අදාල නාවික පිරිස නිරෝධායනයට ලක් කර සිටින හෝටලයට ගොස් ඔවුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ඊයේ දිනයේ දී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කපිතාන්වරයා නිරෝධනයට ලක් කර සිටී ස්ථානයට ගොස් තිබු නමුත් නෞකාවේ ලිපිගොනු කපිතාන්වරයා සතුව නොතිබුණු බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීම අද දිනයට කල් දමනු ලැබුවා.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් මුහුදට එක්වූ ද්‍රව්‍ය නිසා මෙරට ධීවරයින්ගේ ධීවර ආම්පන්න වලට සිදු වූ හානිය සම්පූර්ණයෙන් පියවාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
ධීවර ආම්පන්න වලට සිදුවී ඇති හානිය තක්සේරු කිරීමෙන් පසුව නෞකාවෙන් ලැබෙන වන්දිය මත පදනම් නොවී අදාල ගෙවීම් කටයුතු ඉතා ඉක්මනින් සිදු කිරීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ වන විට අදාළ නෞකාව ගිනි ගැනීමෙන් මුහුදට එක් වූ අපද්‍රව්‍ය ගාල්ල, මාතර වෙරළ ප්‍රදේශ දක්වා ද මුහුදේ ගසාගෙන ගොස් පැමිණ තිබෙනවා.
එමෙන්ම නෞකාව ගැඹුරු මුහුද වෙත ගෙන යාමට සූදානම්ව පවතින බව පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරනවා.
මේ අතර නෞකාවේ ගින්නෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ හානිය සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කර තිබෙනවා.
893 Views
Comments