බූස්ස සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට පාතාලයෙන් තර්ජන

පසුගිය සමයේදී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට මරණ තර්ජන එල්ලවී තිබේ.
ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ වූ පුද්ගලයෙක් බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පියාට තර්ජනය සිදුකර තිබුණි.
බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාගේ කටුනායක පිහිටි නිවසට ඊයේ (11) පස්වරුවේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබේ.
එහිදී එක් අයෙක් සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ පියාට සිය ජංගම දුරකථනය ලබාදී ඇත්තේ, ඩුබායි සිට හීනටියන සංඛ නමැත්තාගෙන් දුරකථන ඇමතුමක් ඇති බව පවසමිනි.
එහිදී සහකාර අධිකාරීවරයාගේ පියාට 'පුතා දඟලනවා වැඩියි, වැඩිය නටන්න එපා කියන්න. නැත්නම් මරලා දානවා '' යැයි පවසා තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයා මෙන්ම දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කළ බවය.
මෙලෙස තර්ජනයට මුහුණ දී ඇති සහකාර බන්ධනාගාර අධිකාරීවරයා පසුගිය සමයේදී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් නිලධාරියෙකි.
197 Views
Comments