මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කලේ ඉලක්කය වැරදීමෙන් - ඝාතන සැකකරුගෙන් තොරතුරු රැසක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කලේ ඉලක්කය වැරදීමෙන් - ඝාතන සැකකරුගෙන් තොරතුරු රැසක් එළියට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කලේ ඉලක්කය වැරදීමෙන් - ඝාතන සැකකරුගෙන් තොරතුරු රැසක් එළියට

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදීමෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

 

වෙඩික්කරුගේ ඉලක්කය වී ඇත්තේ, ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසේ සිටින පොලිස් පරීක්ෂකවරයෙක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කළ වෙඩික්කරුගෙන් ගල්කිස්ස පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

 

එහිදී ඔහු පවසා ඇත්තේ ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තාවකාලික වැඩතහනමකට ලක් ව සිටි පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කළේද තමන් බවය. 

 

පසුගිය වසරේ ඔක්තෝබර් 09වනදා එම පොලිස් නිලධාරියාව ඝාතනය කර තිබුණේ නඩු කටයුත්තකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීය.

 

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් ඝාතන රැසක් පිළිබඳව පවසා ඇති බව පොලීසිය පැවසීය.

 

එක් වරෙක රුපියල් 50,000ක මුදලකට කුඩා දරුවෙකු ඝාතනය කිරීමට ගොස් ඇති වෙඩික්කරු තම දරුවා සිහිවීම හේතුවෙන් එය සිදුකර නොමැති බවද පාපොච්ඡාරණය කර තිබේ.

 

මේ අතර මේ වනවිට අත්අඩංගුවේ පසුවන කුලී ඝාතකයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුවට භාරදීමට නියමිතය.

 

ඒ ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහාය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුලී ඝාතකයාට කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසක සිටින පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනයට බවය.

 

අදාළ පොලිස් පරීක්ෂකවරයාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ, ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුව මුදා නොහැරීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය අඩු නොකිරීමට කටයුතු කිරීම නිසා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

views

210 Views

Comments

arrow-up