පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන්වූ තරුණයාට ඇත්තටම මොකද වුණේ? - සිද්ධිය පසුපස ඇති තොරතුරු රැසක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන්වූ තරුණයාට ඇත්තටම මොකද වුණේ? - සිද්ධිය පසුපස ඇති තොරතුරු රැසක් එළියට

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන්වූ තරුණයාට ඇත්තටම මොකද වුණේ? - සිද්ධිය පසුපස ඇති තොරතුරු රැසක් එළියට

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අදාළ තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින්  අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

 

මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ වන විට අතුරුදන්ව සිටින ප්‍රධාන සැකකරුගේ පවුලේ ඡායාරූපයක් අද (02) පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කළේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීම සඳහාය.

 

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ අතුරුදන්වූයේ මින් දින 10කට පෙරදීය.

 

ඔහු අවසන්වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබුණි.

 

එහිදී ඔහුට පෙම්වතියගේ පියා, පෙදරේරුවන් දෙදෙනෙකු සමග එක් වී පහරදී ඇතැයි අනාවරණ වූ බව පොලීසිය පැවසීය.

 

ඒ අනුව අත්අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනා පොලීසියට පාපෝච්චාරණය කර ඇත්තේ, අදාළ තරුණයා ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට රැගෙන යා යුතු බව පෙම්වතියගේ පියා පැවසූ බවය.

 

සිද්ධියෙන් පසුව ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ, අතුරුදන් තරුණයාගේ පෙම්වතිය වන සිය දියණිය සහ පුතුන් දෙදෙනා මෙන්ම ප්‍රධාන සැකකරුගේ සහෝදරිය හා ඇයගේ සැමියාද සිය නිවෙස්  අතහැර ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඔවුන් පළායාම සඳහා කුලී පදනම මත ලබාගත් බවට අනාවරණය වී ඇති අංක NW PK-0125 දරන සුසුකි එව්රි වර්ගයේ සිල්වර් පැහැති වෑන් රථය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බවයි.

 

පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කළ ඡායාරූපයේ  සිටින පිරිස සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

 

එවන් පසුබිමක ප්‍රධාන සැකකරුගේ මව්පියන් හා මාමණ්ඩිය කුලියාපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.

 

ඔවුන් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

views

431 Views

Comments

arrow-up