“චූටි නංගිගේ පෙරැත්තය නිසා බස් එකක් අරන් රේස් බලන්න ගියා” - ෆොක්ස්හිල් ඛේදවාචකයේ තවත් කඳුලු කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

“චූටි නංගිගේ පෙරැත්තය නිසා බස් එකක් අරන් රේස් බලන්න ගියා” - ෆොක්ස්හිල් ඛේදවාචකයේ තවත් කඳුලු කතාවක්

“චූටි නංගිගේ පෙරැත්තය නිසා බස් එකක් අරන් රේස් බලන්න ගියා” - ෆොක්ස්හිල් ඛේදවාචකයේ තවත් කඳුලු කතාවක්

පසුගියදා අවාසනාවන්ත ලෙස පිරිසකට මරු කැඳවූ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් අනතුරින් එකම පවුලකට අයත් දෙන්නෙකු මරණයට පත්වීම ගැන අදහස් දක්වමින් 

 

‘මගේ චූටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාරි රේස් එක බලන්න ගියේ. කාරි රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ චූටි නංගියා කාර් රේස් තරගයකදී මගේ මාමාත් එක්ක අපිව දාලා ගියා‘ යැයි මියගිය අයගේ ඥාති සොහොයුරියක වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය පැවසුවාය.

 

මෙම අනතුරින් ශිවරාජ් කෞෂල්‍යාගේ මවගේ අයියා වන මුත්තුලිංගම් උදයකුමාර් උදයකුමාර් සහ මුත්තුලිංගම්ගේ වැඩිමහල් දියණියගේ තුන්වැනි දරුවා වන හත් හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා යන දෙදෙනා මිය ගොස් තිබුණි.ඩයරබාවත්තේ ඥාතී හිතවත් සියලු දෙනාම 22 දා දිනුෂිකාගේ නිවසට රැස්ව දිනුෂිකාගෙත් සීයාගෙත් වියෝවීම සම්බන්ධයෙන් තම ශෝකය පළ කරමින් සහ දිනුෂිකාගේ මතක සැමරුම් ගැන කතා බහ කරමින් දක්නට ලැබිණි.

 

අප එහි යන විටත් දිනුෂිකාගේ පියා දිනුෂිකාගේත් සීයාගේත් සිරුරු ගෙන ඒමට දියතලාවටගොස් සිටි නිසා ඔහු හමුවීමට නොහැකි විය.

 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනුෂිකාගේ ඥාතී සොහොයුරිය වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය මෙසේ කීවාය.

මගේ අම්මාගේ අයියා තමයි මුත්තුලිංගම් උදයකුමාර්. එයා වත්තේ කම්කරුවකු ලෙස සේවය කරනවා. එයාගේ වැඩිමහල් දියණිය මීට ටික කලකට පෙර මිය ගියා. එයාගේ තුන්වැනි දරුවා තමයි 7 හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා.



දිනුෂිකා එයාගේ සීයාට හරිම ආදරෙන් තමයි හිටියේ. සීයාත් එයාට හරිම ආදරෙයි. දිනුෂිකාට අයියලා දෙන්නෙක් ඉන්නවා. දිනුෂිකා ඩයබරාවත්තේ වතු පාසලේ 2 වැනි වසරේ තමයි ඉගෙනගත්තේ. අපේ චූටි නංගි ඉස්කෝලේ වැඩ කරන්න හරිම ආසයි. එයා හැමදාම ඉස්කෝලේ වැඩ කරලා රූපවාහිනියේ කාර් රේස්, කාටුන් බලන්න ආස කළා. සීයා වගේම එයාගේ තාත්තා දිනුෂිකාට හරිම ආදෙරෙන් හිටියේ අම්මා නැති පාළුව චූටි නංගිට දැනෙන්න එයාගේ තාත්තා ඉඩ තිබ්බේ නෑ. චූටි නංගි නැතුව එයාගේ තාත්තා කොහොම ඉඳීද මන්දා.රූපවාහිනියේ කාර් රේස් එක සම්බන්ධව පෙන්නුවාම මෙයාට යන්නම ඕනෑ වුණා බලන්න. දිනුෂිකා චූටි නංගි එයාගේ තාත්තාටයි සීයාටයි මේ බව කිව්වා. ඇත්තටම අපේ වත්තේ කට්ටියක් එක්ක කාර් රේස් එක බලන්න බස් එකක් අරන් ගියේ චූටි නංගිගේ උවමනාවටමයි.



දිනුෂිකා නංගි ඇතුළු වත්තේ අය 27 උදේ ගිහින් තියෙනවා.

 


මේ ගොල්ලන් තරගය බලන්න ගිහින් තියෙන්නේ පාර අද්දරම තියෙන පුටුවල වාඩිවෙලා බව එහෙ ගිය අය මාත් එක්ක හිම්බා. සීයාගේ උකුලේ තමයි දිනුෂිකා  නංගි ඉඳලා තියෙන්නේ. තරණය බලන්න ගිය අය තමයි සීයායි චූටි නංගියි හිටපු පුටුව උඩට කාර් එකක් පෙරළිලා විසිවුණා කියලා. චූටි නංගිට ඒ වෙලාවෙ මොනවා හිතුණාද දන්නේ නෑ.එයා අන්තිමට කිව්වේ අපි ගිහින් එන්නම් කියලා තමයි. ඒත් චූටි නංගිවත් මාමාවත් ආයිමත් අපේ ගෙදරට එන්නේ නෑ කියලා හිතුනේ නැහැ. ආයෙමත් අපේ ගෙදර රූපවාහිනිය බලන්නත් එන්නේ නෑ. එයාගේ ආසාව තිබුණේ කාර් රේස් බලන්න. අන්තිමට කාර් රේස් එකක් බලලා මාමයි දිනුෂිකා නංගි අපිට නැති වුණා යැයි මෙම විස්තර පැවසූ ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය කීවාය.

views

156 Views

Comments

arrow-up