මෝරුන්ට වෙන්වූ දවස අදයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

මෝරුන්ට වෙන්වූ දවස අදයි.

මෝරුන්ට වෙන්වූ දවස අදයි.

මෝරුන් වසර මිලියන 400 කට වැඩි කාලයක් සාගරවල සැරිසැරූ අතර වසර ගණනාවක්, අනුවර්තනය විම් මාලාවකට ලක් වී පරිණාමය වී ඇත. මෝරුන් අයත් වන්නේ කාටිලේජ සහිත මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් ඇතුළත් Chondrichthyes වර්ගයට වන අතර මේ වන විට විශේෂ 500 ක් පමණ හඳුනාගෙන ඇත.



මෝර විශේෂයක් වන Whale shark නොහොත් මිණිමුතු මෝරා (Rhincodon typus) ලොව විශාලතම මත්ස්‍යයා ලෙස සලකයි. දිගින් අඩි 40 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වුව ද මෙම විශේෂය ප්‍රධාන වශයෙන් ප්ලවාංග සහ කුඩා මත්ස්‍යයන් මත පෝෂණය වන අතර, එය මෝරුන් අතර පවත්නා පෝෂණ උපායමාර්ග විවිධත්වය විදහා දක්වයි.



මෝරුන් ආහාර දාමයක මෙන්ම ජාලයක ද ඉහළින්ම සිටින විලෝපිකයන් නොහොත් අග්‍ර විලෝපිකයන් ( Apex predators) වන බැවින් ඔවුන් සාගර පරිසර පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉටු කරන කාර්යභාරය අතිමහත් ය.



ආහාර දාමයේ ඉහළින්ම ස්ථානගත වී ඇති බැවින් ඔවුන්, ඊට පහළින් ඇති ස්ථර වල ගහණ පාලනයට සහ ජෛව විවිධත්වය පවත්වා ගැනීමට දායක වේ. කෙසේ නමුත් මෝර ගහණය මේ වන විට තර්ජනයන්ට මුහුණ පා ඇත.



මෝර වරල් සහ මස් යොදා ගනිමින් සිදු කරන නිෂ්පාදන සඳහා අධික ඉල්ලුමක් ඇති බැවින් මෙම සතුන් ඇල්ලීම ඉහළ ගොස් ඇත. තවද නොදැනුවත්ව ධීවර දැල්වලට ඉලක්ක කරගත් විශේෂයන්ට අමතරව මෝරුන් හසු වීම ද මෝර ගහනය සඳහා එල්ල වී ඇති තර්ජනයකි. වාසස්ථාන විනාශය, පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාස මෙම සතුන් මුහුණ දෙන තවත් ගැටළු වේ.



සාගර පරිසර පද්ධතිය තුළ මෝරුන් ඉටු කරන තීරණාත්මක හා වැදගත් කාර්යභාරය පිළිබඳ නිසි දැනුවත් කිරීමක් තුලින් ලබාගන්නා මහජන දායකත්වයක් මගින් නිසි වැඩ පිලිවෙලක් ක්‍රියාවට නැංවීම මගින් මෝරුන් සංරක්ෂණට දායක විය හැක.



සටහන: අරවින්ද්‍යා එදිරිසිංහ
සංස්කරණය: උපුලි ඉමල්ශි

views

392 Views

Comments

arrow-up