"එයා බෙල්ල ඇලකරගෙන අමුතු විදියට හිනාවෙලා මං දිහා බලන් හිටියා."
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

"එයා බෙල්ල ඇලකරගෙන අමුතු විදියට හිනාවෙලා මං දිහා බලන් හිටියා."

"එයා බෙල්ල ඇලකරගෙන අමුතු විදියට හිනාවෙලා මං දිහා බලන් හිටියා."

මේක මම මුහුණ දුන්නු ඇත්ත සිදුවීමක්. තවමත් මේ සිදුවීම මාව කම්පනයට පත් කරන නිසා මේක මෙහෙම ලියලා තියන්න මම කල්පනා කරා. අඩුම තරමෙ ඒකෙන් පොඩි හරි සහනයක් ලැබේවි.



කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද ඉවර උනාම අපිට වෙන හොස්ටල් එකකට යන්න උනා. ඒ අලුතෙන් එන බැජ් එකට අපේ හොස්ටල් එක භාර දෙන්න. අපේ කාමරේ මාත් එක්ක තව ගෑණු ළමයි තුන්දෙනෙක් හිටියා.



අපිට ලැබුණෙ කැම්පස් එකේ කෙළවරට වෙන්න තිබුණු ගොඩක් පරණ හොස්ටල් එකක්. බැලූ බැල්මට ඒකෙ මහ මූසල පෙනුමක් තිබුණෙ. සමහර කාමර පවා හොඳටම අබලන් වෙලා. ගොඩක් කාමර වහලා දාලා. අකමැත්තෙන් වුණත් අපිට සිද්ධ වුණා මෙතන නවතින්න.



අපේ කාමරේ 27. ඒක තිබුණෙ දෙවනි තට්ටුවෙ. අපිට එහා පැත්තෙ තිබුණු අංක 28 කාමරෙත් වහලා දාලා තිබුණෙ.



ඉතිං අපේ අලුත් නවාතැනේ දවස් එක දෙක ගෙවෙන්න ගත්තා. එක්සෑම් ඒ එක්කම ආපු නිසා අපිත් ගොඩක් කාර්යබහුල වුණා.



එදා සිකුරාදා දවසක්. මට හරියටම මතකයි. එදා සබ්ජෙක්ට් දෙකක එක්සෑම් තිබුණු නිසා ඒ දෙක ඉවර වෙලා ලොකු සතුටකින් මම හොස්ටල් ආවෙ. හැබැයි ආයෙත් සඳුදා මට සබ්ජෙක්ට් එකක් ලියන්න තිබුණා. ආපු ගමන් මම වොෂ් එකක් දාන්නෙත් නැතුව ඇඳට වැටුණෙ රෑට නැගිටලා පාඩම් කරනවා කියලා හිතාගෙන.



කොහොමහරි මම නැගිටිනකොට 10.00 පහුවෙලා. අපේ ගොඩක් අයට එදායින් එක්සෑම් ඉවර නිසා ගොඩක් අය ගෙවල් වල ගිහින්. හොස්ටල් එකේ ලොකු පාළු ගතියක් තිබුණෙ. අපේ කාමරේ හිටියෙත් තාරුයි මමයි විතරයි.


මම නැගිටිනකොට තාරු නිදාගෙන හිටියෙ. දැන්වත් පාඩම් කරන්න ඕන නිසා මම මුලින්ම වොෂ් එකක් දාගන්න ගියා. වොෂ් රූම් එකේ කවුරුවත්ම හිටියෙ නෑ. (මේ වොෂ් රූම් එකේ පස් දෙනෙකුට නාන්න පුළුවන් වෙන්න බාත් රූම් පහක් එක පෙළට තිබුණා.) මාත් නිදහසේ නාගන්න පුළුවන් නිසා බාත් රූම් එකේ කැඩුණු දොර එහෙමම තියෙද්දි ටවල් එක අයින් කරලා නාන්න ගත්තා.



වතුර හොඳටම සීතලයි. මොනවා කරන්නද. බොහොම අමාරුවෙන් වතුර ටිකක් ඇඟට දාගෙන සබන් ගාගන්න ෂවර් එක වැහුවා. එතකොටම මට ඇහුණා එහා පැත්තෙ ෂවර් එකෙන් වතුර වැටෙන සද්දෙ. මන් ටක් ගාලා ටවල් එක ඇඟට දාගත්තා කවුරුහරි ඇවිල්ල කියලා හිතාගෙන. එහෙම කරලා මම හිමීට එහා පැත්තෙ බාත් රූම් එකට එබිලා බැලුවා. ඒකෙ දොරත් ඇරලා. හැබැයි ෂවර් එකෙන් වතුර වැටෙනවා. කවුරුවත් නෑ.


මට හොඳටම විශ්වාසයි මම එනකොට ෂවර් එකක්වත් ඇරලා තිබුණෙ නෑ කියලා. බයක්ම නොවුණත් මගේ හිතේ ඒ වෙලාවෙ ලොකු චකිතයක් ඇතිවුණා. මම ඒ කරාමෙ වහලා දැම්මා. මම ආයෙත් බාත් රූම් එක ඇතුලට ඇවිත් ටක් ගාලා සබන් ටිකක් ගාගෙන ආයෙත් ෂවර් එක ඇරියා. මට ඕන වුණේ ඉක්මනට නාගෙන රූම් එකට යන්න.



වැඩි වෙලාවක් යන්න කලින් මම නාලා ඉවර වෙලා ෂවර් එක වැහුවා. විශ්වාස කරන්න එතකොටත් එහා පැත්තෙන් ඒ වතුර වැටෙන සද්දෙ ආවා. මමම ටිකකට කලින් වහපු ෂවර් එකෙන් ආයෙත් වතුර වැටෙනවා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ටවල් එක ඇඟේ පටලවගෙන ඒ දිහා බලන්නෙත් නැතුව වතුර බේරි බේරි මම වොෂ් රූම් එකෙන් එළියට ආවා.



මම දුවගෙන ආවෙ තාරුව අවදිකරලා මේ සිද්ධිය කියන්න. මම එනකොට තාරු එළියෙ ඉන්නවා. එයා අපිට අල්ලපු කාමරේ (28 කාමරේ) දොර ඉස්සරහට වෙලා ඒ දොර දිහා බලාගෙන ඉන්නවා.


"තාරු... තාරු...."



මම කතා කරාට තාරුට ඇහුණෙ නෑ. මම එයා ළඟට කිට්ටු වුණා. තාරුගෙ කොණ්ඩෙත් අවුල් වෙලා තිබුණෙ. එයා මහ අමුතු විදියට ඒ කාමරේ වහලා තිබුණු දොර දිහා බලාගෙන හිටියා. මම කතා කරන එක එයාට ඇහුණෙ නෑ.



මම ළඟට ගිහින් එයාගෙ උරහිසෙන් අල්ලලා තාරු තාරු කියලා එයාව හෙල්ලුවා. තාරු එකපාරටම මා දිහා බලපු බැල්මට මම පිටිපස්සට විසි වුණා. එයාගෙ ඇස් දෙක එළියට පනින්න තරම් ලොකු වෙලා. මං දිහා බලපු තාරු එයාගෙ ඇගිල්ලෙන් මට දොර පැත්ත පෙන්නුවා.



වහල තිබුණට ඒක අබලන් වෙච්ච දොරක්. දිරපු දොරේ එක තැනක දිගටි සිදුරක් වගේකක් හැදිලා තිබුණා. මම දන්නෙ නෑ අදටත් මම ඇයි ඒක කරේ කියලා. මොකක් හරි බලයකින් වගේ මම ගිහිල්ලා ඒ සිදුරට ඇහැ තියලා ඒ කාමරේ ඇතුල බැලුවා.



දිග කොණ්ඩයක් තියන සුදු පාට නයිටියක් ඇඳගත්තු ගෑණු ළමයෙක් ඒ කාමරේ ඇතුලෙ ඉඳන් මං දිහා බලන් හිටියා. එයා බෙල්ල ඇල කරගෙන අමුතු විදියට හිනා වෙලා මං දිහා බලන් හිටියා. (නිකන් සමච්චලේට බලනවා වගේ.) එයා කෙලින්ම මම දිහා බලන් හිටියෙ. මම කෑ ගහගෙන පස්සට විසිවුණා කියලා විතරයි මතක.



ඊළඟ දවසෙ උදේ තාරුට මේ මොනවත් මතක තිබුණෙ නෑ. වෝර්ඩ්න් මැඩම් (නේවාසිකාගාරයේ පාලිකාව) ඇවිත් මම නාලා එද්දි ලිස්සලා වැටිලා කියලා කිව්වා. ඔළුව ටිකක් වැදිලලු. මම මැඩම්ට වෙච්ච හැමදේම කිව්වා. මම කිව්වා මැඩම් මට මෙහේ ඉන්න බෑ කියලා. මම එදාම එළියෙ බෝඩිං වෙලා ඉන්න යාලුවෙක් ගාව නවතින්න ගියා.



28 රූම් එකේ ගෑණු ළමයෙක් අවුරුදු 4 කට විතර කලින් එල්ලිලා මැරුණු කතාව ඊට මාසෙකට විතර පස්සෙ සීනියර් අක්කා කෙනෙක්ගෙන් මම දැනගත්තා. ලව් එකේ ප්‍රශ්නයක් කියලා තමයි ඒ අක්කා කිව්වෙ. කොහොම වුණත් මගේ ඔළුවෙන් මේ සිද්ධිය තාමත් අයින් කරන්න බෑ. මෙහෙම ලියලා තියන එකෙන් සහනයක් ලැබේවි කියල හිතුණු නිසයි ලිව්වෙ. මේක කවුරු විශ්වාස කරත් නොකරත් කමක් නෑ. අදටත් මම ඒ හොස්ටල් එක දිහා වැරදිලාවත් බලන්නෙ නෑ.

views

788 Views

Comments

arrow-up