නුවර පාරේ අනතුරක්. යාබද අසුනේ සිටි (නොසිටි) තරුණිය කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

නුවර පාරේ අනතුරක්. යාබද අසුනේ සිටි (නොසිටි) තරුණිය කවුද?

නුවර පාරේ අනතුරක්. යාබද අසුනේ සිටි (නොසිටි) තරුණිය කවුද?

පසුගිය දිනක මම අනතුරකින් තුවාල ලැබූ මාගේ ඥාති සහෝදරයෙකුගේ සාත්තුවට කුරුණෑගල රෝහලේ එක් රාත්‍රියක් නැවතී සිටියෙමි. රෝගියා අසළ පුටුවක් තබාගෙන නින්දත් නොනින්දත් අතර කාලය ගෙවමින් සිටියෙමි. එහිදී මැදියම් රැයේ හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ගෙනෙනු ලැබූ තරුණයකු කළ කෑ ගැසීමෙන් මාගේ නිදිමත නැතිවිය.



මා සිටි තැනට ඇඳන් දෙකක් පමණ එහායින් තිබුණු හිස් ඇඳක එම රෝගියා හාන්සි කරන ලදී. ඒ වනවිටත් ඔහු වේදනාවෙන් කෙඳිරි ගාමින් සිටියේය.



ඔහුගේ කෙඳිරියටත් වඩා මට දැනුණේ බියපත්ව දොඩවන බවකි. ඔහු අස්වසන්නට හෙදියන් මෙන්ම භාරකරු යැයි සිතිය හැකි මැදි වියේ අයකුද මහන්සි ගත්තත් හිටි හැටියේම බිය පත්වූ රෝගියා ඇඳෙන් පනින්නට හදන හැටිත්, නන් දොඩවන අයුරුත් මා බලා සිටියේ දැඩි කුතුහලයෙනි.



ඒ වනවිට වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බොහෝ දෙනෙකු තම ඇඳන් මත හිඳම එබිකම් කර බැලූයේ රෝගියාගේ නන් දෙඩවිල්ල කාටත් කුතුහලයක් මෙන්ම අද්භූත වූ බියක්ද ඇති කළ හෙයිනි.



"අනේ පුතේ කෑගහන්න එපා. මම තාත්තා. ඇයි පුතා බයවෙන්නේ? පුතාට තුවාල නැහැ. ඇයි ඔළුව රිදෙනවද?"



රෝගියා ළඟ සිටි වැඩිහිටියා ඔහු අස්වසන්නට මහන්සි ගත්තේ දැඩි සෙනෙහසකිනි.



මදකට නිසල වූ රෝගියා හිටි හැටියේම අවදිව මොර දුන්නේය.



"කෝ… කෝ… එයා… තුවාල වුණාද…? යට වුණාද… මොකද වුණේ…?"



"කවුද?… පුතේ… පුතා එක්ක කවුද ආවේ…? පුතා තනියෙන්නේ ආවේ. කවුරුවත් හිටියේ නැහැනේ දරුවෝ." ඔහු කීවේ දැඩි වේදනාවකිනි.



ඔහු අස්වසනා ගමන් පියා දුන් පිළිතුරටත් වඩා මා විමතියට පත්වූයේ ඔහුගේ පිළිතුරෙන්ය.



"නෑ නෑ එයා නැග්ගා. මම හොඳට දැක්කා කවුද ඒ? කෝ එයා නැද්ද?"



ඔහු තවත් බියෙන් මෙන් සැකයෙන්ද ඇඳෙන් බැස යෑමට තැත් කරද්දී පියා ඔහු නතර කරගන්නට දැඩි වෙහෙසක් ගත්තේ ඔහු අස්වසමිනි.

 


"බයවෙන්න එපා. මෙයාට තුවාල නැහැ. මේ එක්ස් රේ එක ඇවිත් තියෙන්නේ. මෙයාට තියෙන්නේ කම්පනය වගෙයි. ටිකක් වෙලා යද්දී අඩුවෙයි. ආ බොන්න මේ බෙහෙත් ටික. ඔය අමාරුව ඇරිලා නින්ද යයි."



ඔහු ළඟට ආ තරුණ හෙදියද ඔහුව අස්වසන්නට වෙහෙස වූවාය.



එහෙත් ඇගේ පැමිණීමත් සමග ඔහු තවත් කලබල වෙමින් නන් දොඩන්නට වූයේය.



"ආ… ආ… මෙයා නෙමෙයි. එයා ඔළුවත් වහලා හිටියේ."



ඔහු දොඩවන්නට ගත්තේ තව තවත් බියපත්වය.



"මිනිහා මොකකට හරි බයවෙලා වගෙයි." යාබද ඇඳේ සිටි මැදිවියේ රෝගියා හිමින් කීවේ මාද රෝගියා ගැන විමසිලිමත් වන බව දැනුණ නිසාය.



"ඇක්සිඩන්ට් එකක්ලුනෙ. සමහර විට ඔළුව එහෙම වැදිලා වෙන අමාරුවක්ද දන්නේ නැහැ. සමහර වෙලාවට එහෙමත් වෙනවනෙ."



මා එසේ කීවේ පැය කීපයකට උඩදී අලුත් රෝගියාට දුන් ඇඳෙහි ප්‍රතිකාර ලබමින් සිටි වෙනත් රෝගියකු මරණාසන්න තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට මාරුකර යැවූ වහාම මියගිය බවට ලැබුණු ආරංචියෙන් තරමක් කලබලයට පත්ව සිටි නිසාය.



ඒ අතර වෛද්‍යවරයාද සමග යළි පැමිණි හෙදිය රෝගියාට එන්නතක් ලබාදුන් අතර ටික වේලාවකින් ඔහුගේ කෙඳිරිය හා නන්දෙඩවිල්ලද අඩුව ගියේය.



රෝගියෙකුගේ සාත්තුවට සිටි තවත් අයෙක් ඒ මොහොතේ මා අසළට පැමිණ කතා කළේය.



"මම එයාගේ තාත්තාත් එක්ක කතා කළා. මේ කුරුණෑගල පැත්තෙම ඉලන්දාරියෙක්. රෑ නුවර ඉඳලා ඇවිත් තියෙන්නේ. තනිවම කාරෙකේ එද්දි කාරෙක ගහක හැපිලා. කාරෙකටත් හුඟක් ඩැමේජ්ලු. රෑ දොළහට විතර අහල පහළ අය ඇවිත් එළියට අරගෙන ‍පොලිසියට කියලා තමා මෙහෙ ගෙනත් තියෙන්නේ."



ඔහු සෑම විස්තරයක්ම අසාගෙන තිබුණි. ඒත් ගෙදර අයටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔහු කියන අනිත් කෙනා කවුරුන්ද යන්නයි.



එම රෝගියා සන්සුන්ව නිදා සිටි බැවින් ඔහුගේ පියාද ඒ මොහොතේ අප අසළට පැමිණියේය.



"‍පොලිසිය කියනවා පුතා අවසිහියෙන් වගේ කෑගැහුවලු කාර් එකේ තව කවුද ඉන්නවා කියලා. ඒත් කිසිම කෙනෙක් හිටලත් නැහැ. හිටපු වගක්වත් නැතිලු."



මැදියම් රාත්‍රිය ගෙවී යමින් තිබූ බැවින් අපි මේ අද්භූත සිදුවීම මොහොතකට අමතක කර හැකි අයුරින් නින්දට වැටුණෙමු.



උදෑසන මා අවදිවූයේ මේ අභිරහස ගැන උපකල්පන රාශියක් සිතේ පුරවාගෙනය. එම රෝගියාගේ මාමා යැයි පවසන අයෙක් වාට්ටුවට පැමිණ සිටියේය. අවස්ථාවක් ලැබුණු විගස මම ඔහු හා කතා කළෙමි.



"අපි රෑම පුතාගේ වාහනේ හැපුණ තැනට ගියා. එතන වංගු පාර. එතන ටිකක් පාළුයි තමයි. පාළු සොහොන් කොත් දෙක තුනකුත් පේන්න තිබුණා. ‍පොලිසියේ මහත්තයි ගමේ අයයි කිව්වේ එතන නිතර නිතරම ඔය වගේ අනතුරු වෙනවලු. මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ." ඔහු මා සමඟ පැවසුවේය.



මා උදෑසන නැවත නිවස වෙත යා යුතුව තිබුණි. එබැවින් රෝගියාගේ මාමාගේ දුරකථන අංකය මා ලබාගත්තේ මේ සිදුවීම පිළිබඳ තවදුරටත් තොරතුරු දැනගැනීමේ කුතුහලයෙනි.



දිනකට පසුව මම ඔහුට ඇමතුමක් ගත්තෙමි. මට අවශ්‍ය වූයේ අනතුරට පත් තරුණයා පැවසූ දේ දැනගැනීමයි. ඔහුගේ මාමා විස්තර කළ ආකාරයට එම තරුණයා මෙසේ පවසා තිබුණි.



"මම නුවරින් පිටත් වෙද්දි 10.30 විතර වුණා. දවසෙම ගොඩක් මහන්සි වෙලා හිටපු නිසා පොඩි නිදිමත ගතියකුත් තිබුණා. ඒ නිසා මම හිමින් ආවෙ. මගදි මම තේකක් බොන්නත් නයිට් කඩයක් ගාව නැවැත්තුවා.



ගලගෙදර පහුවෙනකොට CTB බස් එකක් කැඩිලා පාර අයිනේ නවත්තලා තිබුණා. බස් එකේ මිනිස්සු පාර අයිනට වෙලා හිටියා. මම පොඩ්ඩක් slow කරගෙන එතනින් ආවෙ කාටහරි කුරුණෑගලට යන්න ඕන කෙනෙක් හිටියොත් දාගෙන යන්න. එහෙම කවුරුහරි නැග්ගොත් මගේ නිදිමතත් නැති වෙනවනේ. ඒත් කවුරුවත් කාරෙකට අත පෑවෙ නෑ.



එතන පහුවෙලා ටික දුරක් ඉස්සරහට යද්දි ඔළුව වහගත්තු මුස්ලිම් වගේ පේන ගෑණු කෙනෙ පාරෙ අයිනෙ හිටියා. එයා ලොකු බෑග් එකකුත් එල්ලගෙන හිටියෙ. බස් එකේ හිටපු කෙනෙක් වෙන්න ඇති කියලා මම එයා ගාව කාරෙක නවත්තලා කුරුණෑගලට යන්න පුළුවන් කියලා කිව්වා. එයා මොකුත් කතාවක් නැතුව කාරෙකට නැග්ගා.



සුදු රෙද්දකින් එයා මූණ වහගෙන හිටියෙ. කහපාට වගේ ඇඳුමක් ඇඳගෙන හිටියෙ. ලොකු බෑග් එකක් අතේ තිබුණා. සීට් එකේ වාඩි වුණාම එයා බෑග් එක උකුල උඩ තියාගෙන හයියෙන් අල්ලගෙන හිටියා.



මම එයත් එක්ක කතා කරන්න ට්‍රයි කරා. මම ඇහුවා බස් එක කැඩුණද? කොහේ යන ගමන්ද? වගේ විස්තර. එයා මොකුත් කිව්වෙ නෑ. එකපාරටම එයා ඇඟිල්ල දික්කරලා මට ඉස්සරහා පෙන්නුවා. පාර ඉස්සරහ කළු පාට දිලිසෙන මොකද්දෝ ලොකු දෙයක් තිබුණා. කාර් එක නවත්තන්න බ්‍රේක් ගහන ගමන් මම හැරිලා එයාගෙ මූණ දිහා බැලුවා. එයාට තිබුණෙ සුදුම සුදු මූණක්. එයා හොඳටම බයවෙලා හිටියෙ. මට ඒ මූණ කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම ආයි ඉස්සරහ බලද්දි අර කළුපාට දේ මගේ ඉස්සරහ තිබුණා. එච්චරයි මට මතක."



එම අද්භූත කාන්තාව කවුද? අනතුරට ලක්වූ රථයකින් සලකුණක්වත් නොතබා ඇය පිටව ගියේ කෙසේද? එම ස්ථානයේ නිතර අනතුරු වාර්තා වන්නේ ඇයි.? ප්‍රශ්න රැසක් මා ඉදිරිපිට පෙළ ගැසී තිබුණි.
 

 

 



තව කියවන්න

https://aayubo.com/si

 



තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 



Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

737 Views

Comments

arrow-up