ධවල මන්දිරයේ සැරිසරන ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

ධවල මන්දිරයේ සැරිසරන ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය

ධවල මන්දිරයේ සැරිසරන ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය

ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වන්නේ ඒබ්‍රහම් ලින්කන් ය. ඔහු ලොව ඉතා ජනප්‍රියත්වයට පත් වූ නායකයෙකි. තමාගේ ධූර කාලය නිම වීමටත් ප්‍රථම අවාසනාවන්ත ඝාතනයක ගොදුරක් වීමට ජනපති ලින්කන්ට සිදුවිය.

ලින්කන් ජනපතිවරයාගේ අවතාරය ධවල මන්දිර කොරිඩෝවල සහ කාමරවල අද්භූත ලෙස සැරිසරන අයුරු සියවසකට වැඩි කාලයක සිට කිහිපදෙනකු ම දැක තිබේ. ජනපතිවරුන්, ජනපති ආර්යාවන්, සුවිශේෂ අමුත්තන් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ලින්කන් ජනපති අවතාරය දැක තිබුණු බව හෝ ඔහු තමන් ළඟ සිටින ආකාරය දැනී තිබුණු බව පවසා ඇත.



36 වන එක්සත් ජනපද ජනපති ලෙස කටයුතු කළ ලින්ඩන් ජොන්සන්ගේ ආර්යාව වන බර්ඩ් ජොන්සන්, තම මාධ්‍ය ලේකම් හා පවසා සිටියේ එක් වසන්ත සැඳෑවක ජනපති ලින්කන්ගේ මරණය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් රූපවාහිනියෙන් නරඹමින් සිටි අවස්ථාවක ජනපති ලින්කන්ගේ පැමිණීම තමාට දැනුණු බව යි. ජීවිතයේ කවමදාකවත් අත්නොවිඳි අද්තභූ සීතලක් සහ නොසන්සුන් කමක් තමාට එහිදී දැනුණු බව ඇය පිළිගෙන තිබුණි.



මේ හා සමාන අත්දැකීමක් තිස්වන ජනපති කැල්වින් කූලිජ්ගේ බිරිය වන ග්‍රේස් කූලිජ් ආර්යාව ද අත්විඳ තිබේ. ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය සැබවින් ම දුටු බව ප්‍රසිද්ධියේ වාර්තා කළ පළමු පුද්ගලයා වූයේ ද ඇය යි. දෑත් පිටුපසට බැඳගෙන සිටි ජනපති ලින්කන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාල ජනේලයක් අසල රැඳී උන් වග ඇය පවසා තිබුණි.



නිතර දෙවේලේ ලින්කන් අවතාරය දක්නට ලැබුණු කාලය ලෙස පිළිගැනෙන්නේ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ජනපති පරිපාලන අවධියයි. විනාශකාරී ලෝක යුදමය මානසිකත්වයකට රට මුහුණ දී සිටි අවස්ථාවක නෙදර්ලන්ත රැජින විල්හෙල්මිනා, රාජකාරීමය කටයුත්තකට ධවල මන්දිරයට සම්ප්‍රාප්ත විය. මන්දිරයේ ආගන්තුකයෙක්ව සිටි කාලය තුළ කිසිවෙක් ඇගේ නිදන කාමරයේ දොරට තට්ටු කර ඇත.



මධ්‍යම රාත්‍රියත් පසුව තිබූ එම අවස්ථාවේ වැදගත් රාජකාරී පණිවිඩයක් උදෙසා තමා අවදි කරන්නේ යැයි සිතූ ඇය ඇඳෙන් නැඟිට දොර ඇරීමට උත්සුක වූවාය. තරමක උස් තොප්පියක් පැළඳ සිටි ජනපති ලින්කන්ගේ රූපය ශාලාවේ එක් කෙළවරක සිටගෙන සිටි අයුරු ඇය එම මොහොතේ දැක තිබේ. ඒ වන විටත් ක්ලාන්ත ගතියකින් සිටි රැජන බිම වැතිරුණි. මේ සමඟම ලින්කන්ගේ දර්ශනය ද අතුරුදහන් වූ බව සඳහන් වේ.



දෙවන ලෝක යුධ සමයේ ධවල මන්දිරයට පැමිණි විශේෂ අමුත්තෙක් වූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ස්නානය කොට සුරුට්ටුවක් උරමින් සිටි එක් සවස් වරුවක, එම කාමරයේ ගිනි උදුන අසල ලින්කන් අවතාරය හුන් බවට වන කතාවක් ද පවතී.



රූස්වෙල්ට් ජනපති ආර්යාව එලිනෝර් රූස්වෙල්ට්, ඇගේ අධ්‍යයන කටයුතු සඳහා ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයාගේ නිදන කාමරය භාවිත කිරීමට පුරුදුව සිටි අයෙකි. ලින්කන් ජනපතිවරයාගේ අවතාරය සි‍යැසින් දැක ගැනීමට එලිනෝර්ට නොහැකි වූ නමුත් මධ්‍යම රාත්‍රියත් පසුවී වැඩ කරන සෑම විටකම ලින්කන්ගේ පැමිණීම තමාට දැනී තිබුණ බව ඇය පිළිගත්තාය. ජනපති ඒබ්‍රහම් ලින්කන් තමා පිටුපසට වී සිටගෙන තම උරහිසට උඩින් එබී බලන ආකාරයක හැඟීමක් ඇයට දැනී තිබුණි.


මෙලෙස තවත් බොහෝ දෙනෙකු ධවල මන්දිරයේ දී ලින්කන් අවතාරය දැක ඇති බවට විවිධ අවස්ථාවලදී පවසා ඇත.

 

views

447 Views

Comments

arrow-up