ඌරු මස් පාර්සලයක් එක්ක මහ රෑ පාළු පාරක ගිය තරුණයාට වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ඌරු මස් පාර්සලයක් එක්ක මහ රෑ පාළු පාරක ගිය තරුණයාට වූ දේ

ඌරු මස් පාර්සලයක් එක්ක මහ රෑ පාළු පාරක ගිය තරුණයාට වූ දේ

මං උපන් ගම කොළඹින් තරමක් එපිටට වන්නට පිහිටලා තියෙන ග්‍රාමීය ප්‍රදේශයක්. සාමන්‍යයෙන් ගෙවල් දකින්න හම්බෙන්නෙ අතරින් පතර. හැම නිවසකටම වගේ තරමක විශාල ගෙවත්තක් පිහිටන එක මේ ප්‍රදේශවල සුලභ දෙයක්.

 

 

කදුකර ප්‍රදේශයකට මැදිවෙන්න තමයි ගම පිහිටලා තිබුණෙ. රාත්‍රිය ගොඩක් වෙලාවට නිසංසල වුනේ නගරයෙන් තරමක් එපිටට වන්න පිහිටලා තිබුණ නිසා. ඒ නිසාම රාත්‍රිය නිස්කලංක ඒත් හැංගුණ ගුප්ත බවක් එකට එක්වුන හැගීමක් තමයි හිතට එක් කරන්නෙ.

 

 

සංජය ඒ දවස්වල රැකියාව කරේ කොළඹ ප්‍රදේශයේ. ඒ එක්තරා සමාගමක කෝකියෙක් විදියට. හැමදාම ගෙදර නොආවත් ඉඩක් ලැබුණ හැමවෙලේම ගෙදර එන එක සංජයගෙ පුරුද්දක්. ඒ පවුලෙ සහෝදර සහෝදරියො සහ දෙමව්පියන් සමග තිබුණ බැදීම නිසා.

 

 

ඔය වගේ නිවසට එන බොහොමයක් දවස් වලට සංජය ගමට එවුනෙ ගමට එන්න තියෙන අවසන් බස් රථයෙන්. ඔය බස් එක ගමට එනකොට 11 ත් පහුවෙනවා. ඔන්න එදත් සංජය ගමට ඇවිල්ලා බහිනකොට 11 ත් පහුවෙලා. 

 

 

සංජයගෙ නිවස පිහිටලා ගමේ එක්පසක් වසාගෙන තිබුණ කන්දෙ මැද හරියට වෙන්න. එතකොට මගෙ නිවස තිබුණෙ ඔය කියන කන්දෙම පාමුලට වෙන්න. සංජය නිවසට යන්න ඕන මගෙ නිවස පසුකරගෙන වත්ත මැදින් තිබුණ පොඩි පාරක් දිගේ කන්ද උඩට.

 

 

තව දෙයක් කියන්න ඕන ඔය කියන කන්දෙ පාමුල මගෙ නිවස පහුවුණ තැන ඉදන් ආයෙම නිවසක් හමුවෙන්නෙ සෑහෙන දුරක් කන්ද තරණය කරාම. ගමන වැටෙන්නෙත් රබර් වතු මැද්දෙන්. ඉතින් කන්ද ඉහලට වෙන්න ජීවත්වුණ මිනිස්සු ගොඩක් පුරුදුවෙලා හිටියෙ ටෝච් එලියෙන් හරි ඉටිපන්දම් එලියකින් හරි රාත්‍රියේ ගමන්කරන්න.

 

 

සංජය ලගත් ඒ නිසාම පුරුද්දට වගේ ටෝච් එලියක් තිබුනා. සංජය බස් එකෙන් බැස්සට පස්සෙ තියෙන්නෙ ඔය කන්ද නැගලා ගෙදරට යන්න. ගම්වල අපිට නගරෙ වගේ වීදි ලාම්පු දකින්න විදියක් නෑ. ඉතින් ගම්බද ප්‍රදේශයක රාත්‍රිය කියන්නෙ නිහඩ නිස්කලංක හැගීමක් දනවන දෙයක්.

 

 

මිනිස්සු පුරුද්දට වගේ රාත්‍රි ආහාරය අරගෙන 8,9 වෙනකොට නිදාගන්න එක තමයි සම්ප්‍රදාය. එහෙමත් නිවසක ඇරෙන්න ඔය කියන වෙලාව වෙද්දි නිවසක විදුලි ආලෝකයක්වත් දකින්න හම්බෙන්නෙ නෑ. ඉතින් සංජයත් බස් එකෙන් ඇවිල්ලා බහින්නෙ ඔය කියන පරිසරයට.

 

 

සංජයත් ඉතින් බස් එකෙන් බැහැලා ගෙදරට යන්න කන්ද නගින්න පටන්ගන්නෙ ටෝච් එකේ එලිය උදව්කරගෙන. කොහොමහරි සංජයට දෙලොව රත්වෙන්නෙ ටෝච් එක පත්තුකරන්න ගියාම. ටෝච් එකේ එලිය නෑ. දෙපාරක් තුන්පාරක් ගසලා දාලා උත්සාහ කරත් ටෝච් එක එලිය වෙන්නෙම නෑ. වැඩපලෙන් එන්න කලින් ටෝච් එක පරික්ෂා නොකරපු එකගැන තමාටම දෙස් තියමින් සංජය කන්ද නගින්න පටන්ගන්නවා. සංජයට තව බියක් ගෙනදෙන්නෙ ඔහුගෙ සහෝදරයෙක්ගෙ ඉල්ලීමට කොලඹින් ගෙනා ඌරුමස් පාර්සලයක්ද ඔහු අතේ තිබීමයි.

 

 

ඔහොම කලුවරේම ටිකදුරක් ගාටන සංජයට වෙනදට නැති චකිතයක් හිතට එනවා. එකක් කලුවර. අනික් දේ කලුවර පරිසරය හිතට දෙන ගුප්ත හැගීම. කාත් කවුරුත් නැතුව තට්ට තනියම රබර් වත්‍තක් මැදින් ගමන් ගනිද්දි මනුස්සයෙක්ගෙ හිතට එන හැගීම අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනෙ. ඉතින් ඒ කියන හැගීම සැබෑවටම විදගෙන සංජය කන්ද නගිනවා.

 

 

වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි. මං විසුව නිවස පහුකරලා ගියාම සංජයට හරියටම ගෙයක් හම්බෙන්නෙ තව සෑහෙන දුරින්. ඔය අතරෙ තනිකරම තියෙන්නෙ පාලු රබර් වතු. මිනිස් පුලුටක් නැති කැලෑව මැදින් සංජය චකිතයෙන් යමින් ඉද්දි සංජයට ඇහෙන්න ගන්නවා පිටිපස්සෙන් කවුරුන් හෝ එන ශබ්දයක්. මේ වෙලාවට මේ පාරෙන් කිසිකෙනෙක් එන්න විදියක් නැති නිසා සංජය කලුවරේම හැරිලා බැලුවත් අදුරෙ ඔහුට පේන මානයෙ කිසිකෙනෙක් නෑ. 

 

 

හිත තිගැස්සුනත් හිතට හයිය අරගෙන සංජය ඉදිරියටම ඇදෙනවා. පිටුපසින් එන හඩ තව වැඩිවෙන්නෙ හැරමිටි ශබ්දයක් එක්ක. ඒ ශබ්දය ඇහුනමනම් සංජය සෑහෙන්න බයවෙනවා. මොකද ඒ මහ රෑ අදුරෙ එලියකුත් නැතුව හැරමිටියකින් ගමන් කරන පුද්ගලයෙක් ඉන්න විදියක් නැති නිසා. මේ නම් අමනුෂ්‍ය බලපෑමක් කියලා වහා තේරුම්ගන්න සංජය පය ඉක්මන් කරනවා.

 

 

ඒත් වයසක පුද්ගලයෙක් උගුර පාදන හඩක් එක්ක හැරමිටි ශබ්දය ඔහුව හඹාගෙන එනවා. කොයිතරම් වේගෙන් ඇවිද්දත් සංජයට වඩා වේගෙන් ඒ ශබ්දය ඔහුට ලංවෙනවා. දුවමින් මෙන් ඉදිරියට යන සංජය ලගාවෙන්නෙ රබර් වතු දෙකක් මැද තියෙන ප්‍රදාන පාරට අඩිපාරවල් දෙකක් එකතුවෙන තුන්මං හංදියක් වෙතට.

 

 

මෙම ස්ථානය ඔහුගෙ බය තව වර්ධනය කරන්නෙ දවල් කාලයේ පවා ගම්මුන් අමනුෂ්‍ය සිදුවීම් වලට මුහුණදුන්න ස්ථානයක් විදියට ඒ තුන්මං හංදිය ප්‍රසිද්ධියක් ඉසුලුව නිසා. මේ වෙද්දි ඔහු පස්සෙන් ආව හැරමිටි ශබ්දය වඩාත් ලග ලග ඇසෙන්න වුන නිසාත් මිනිසෙක් අමාරුවෙන් හුස්මගන්න හඩක්ද කනට ඇහෙන්න වීම නිසාම සංජය ඉන්නෙ දැඩි ලෙස බියවෙලා. ඒත් එක්කම පරිසරය සිසාරා යන පුලුටු ගදකුත් සංජයට දැනෙන්න ගන්නවා.

 

 

සංජයගෙ හදවත බිරන්ත කරන දෙයක් ඔහුට මතක්වෙන්නෙ එවිටමයි. වයස 90 ඉක්මවු වයසක පුද්ගලයෙක් මීට දින කිහිපයකට ඉහත මියගොස් තිබුණ. ඒ සංජයත් පෞද්ගලිකව අදුරන 'කන්දෙ ආතා' ලෙස හැදින් වුන මෙම පුද්ගලයා ගමන් කිරීමේදි හැමවිටම හැරමිටියක් පාවිච්චියට පුරුදුව සිටියා.

 

 

ඔහු පස උගුර පාදමින් හඹා එන හැරමිටි ශබ්දය ඔහුගේ වීමට නොහැකිද? එය එසේ වීමට නොහැකි බව ඔහුට හැගීගියේ එම වයස්ගත පුද්ගලයා මෙලොව හැරගොස් සිටි නිසාවෙනි. ඒත් මේ මැරුණ ඔහුගේ අවතාරය නම් ඉන්පසු සිදුකරන්නේ කුමක්ද? එවන් ප්‍රශ්න රාශියකින් ඔහුගේ සිහිය විකල් වීමට වැඩි වේලාවක් ගතවූයේ නැහැ. ඈතින් ඇසෙන බකමූණු හඩක් සමග ඔහුගේ ශරීරයට දැනුනේ වෙන කවරදාකවත් නොදැනුන තරමේ සීතලක්.

 

 

හති දමමින් දහඩිය පෙරාගෙන තුංමන් හන්දියත් පසුකර ඉදිරියට ඇදෙන සංජයට මතක්වෙන්නෙ එම මියගිය කෙනාව වලදාපු සොහොන පිහිටන්නෙත් ඔහු යන මාර්ගයට ආසන්නව පිහිටි වත්තක බව. ආපහු යන්නද? එසේ ගියත් ඔහු ආවාක් මෙන් දුරක් කලුවරේ ආපසු යන්නට සිදුවන නිසාවෙන් සංජය හිතට දිරිය ගෙන ඉදිරියට ඇදෙනවා. 

තවමත් අදුරේම හැරමිටි ශබ්දය ඔහු පසුපසින්.

 

 

එක්වරම උගුරු පාදන හඩ සමගම හැරමිටි ශබ්දය නැතිවී යන්නේ සංජයගෙ හීන් දාඩිය දමමින් තිබෙන ගත සලිත කරමින්. මෙතෙක් හැරී බැලීමට හයියක් නොතිබූ සංජය ආපසු හැරී බලන්නේ බියෙන්. කෑලි කපන අදුර. රැහැයියන්ගේ නාදය සහ ඈතින් ඇසෙන බකමූණු හඩ හැරුනුකොට කිසිවක් දකින්නට නැහැ. තව ටික දුරකින් නිවසක් පෙනෙන මානයට ලංවෙන බව දන්නා නිසාම සංජය පය ඉක්මන් කරනවා.

 

 

ඉදිරියෙන් තිබෙන වංගුව හැරෙනවාත් සමගම සංජය දකින දෙයින් ඔහුගේ දෙකකුල් පවා ගැහෙන්නට පටන්ගන්නවා. ඔහු ඉදිරියෙන් බිම ඇණ තියාගෙන සුදු ඇදගත් රුවක් දකින්නට ලැබෙනවා. අදුර නිසා පැහැදිලිව නොපෙනුනත් එය මනුෂ්‍ය රුවක් බව සංජයට හැගීයනවා. ඔහු තවත් ඉදිරියට යාමට නම් මෙම රුව පසුකරගෙනම යා යුතුයි. 

 

 

කරන්නට වෙන කිසිවක් නොවූයෙන් සංජය ඉදිරියට ඇදෙන්නෙ ගැහෙන හදින්. ඔහු තවත් ලංවත්ම දකින්නේ එම රුව බිම බලාගෙන අතවු සැරයටියෙන් බිම හාරමින් සිටින ආකාරයක්. මූණක් පැහැදිලිව නොපෙනෙන්නේ ඔහු බිම බලාගත්වනම සිටින නිසාවෙන්. පරිසරය සිසාරා යන පුලුටු ගද නැවතත් දැනෙන්නට වූයෙන් ඔහුට දැනෙන්නෙ මහත් වූ අප්‍රසන්න ගතියක්.

 

 

ඔහු ලගට ලංවත්ම බිම ඇන තියාගෙන හුන් මහලු රුව හිස උස්සා සංජය දෙස බලනවා. දකින දෙයින් සංජයගේ කටේ කෙල සිදි යනවා. ඒ අන්කවරෙක් වත් නොව මීට දින කිහිපයකට කලින් මියගොස් සිටි 'කන්දෙ ආතා'. වෙනදා සංජය දකින ශාන්ත වයස්ගත රූපය වෙනුවට ඔහු මෙදා දකින්නේ වෙනස්ම වූ දෙයක්. ගිනිගෙන දැවෙන රක්ත වර්ණ දෑස් යුගල සංජය දෙසට යොමුකරන ආතාගෙ මුහුණ දින ගණනක් කුණු වූ ශරීරයක් මෙන් විරූපී වී ගොසින්. 

 

 

ඔහු දෙසම බලාගත්වනම සිටින රූපය කිසිම හැගීම් දැනීම්වලින් තොරවු දත් සියල්ල විලිස්සාගත් විරූපි සිනහවක් දල්වාගෙන සංජය දෙස බලාගෙන සිටිනවා. දර්ශනයෙන් බියට පත්වූ සංජය නිසොමන්ව සිටියත් ගමන් මහන්සියෙන් වූ විඩාවත්, සිදුවූ සිදුවීම්වලින් ඇතිවූ බියත් නිසා සිටින්නේ දහඩියෙන් තෙත් වී.

 

 

වහා සිහි එලඹාගෙන තමා අතවූ ටෝච් එකෙන් මහලු රූපය දෙසට දමා ගසා සංජය දුවන්නට පටන්ගන්නවා. මෙසේ හති දාගෙන දුවන ඔහුට දැනෙන්නෙ ඔහුව කිසියම් බලවේගයකින් අල්ලාගෙන සිටින බවක්. කෙතරම් වේගයෙන් ඉදිරියට ඇදෙන්නට උත්සාහ කරත් ඔහුට වැඩි දුරක් ඇදෙන්නට වන්නේ නැහැ. කිසිවෙක් අල්ලාගෙන මෙන් සිටින විට දුවන්නට උත්සාහ කරන සංජය දුවනවා වෙනුවට සිදුවන්නේ ඔහුව හෙම්බත් වීම පමණයි.

 

 

තවදුරටත් දිවීමට ඇගේ ශක්තියක් නොවන සංජය එතනම ඇද වැටෙනවා. අවසිහියෙන් මෙන් ඔහු ඉන්පසු තරමක් දුරට බඩගාගෙන ඉදිරියට ඇදුනත් දැඩිසේ වේදනාදෙන ශරීරයත් දුටු දේවලින් ඇතිවූ බියත් නිසා සංජයගේ දෑස් නිලංකාර වී ඔහු සිහිසුන්වනවා. සිහිසුන්වීමට ප්‍රථම ඔහුට අවසන්වරට මතකයේ රැදුණ දර්ශනය වන්නේ ඔහු අසල හිටගෙන ඔහු දෙස රෞද්‍ර විලසින් බලාසිටිනා ගිනිගන්නා දෑස් යුගලක්.

 

 

පසුදින උදෑසන සංජයගේ නිවැසියන් ඔහුව සොයාගන්නේ තුන්මං හන්දියෙන් යාර දෙසීයක් පමණ එපිට කැලෑව තුලට වන්නට වැටී සිටියදී. ඔහු වැටී සිටින්නේ කන්දෙ ආතාගෙ සොහොනට ඉතා ආසන්නයෙන්. උණ විකාරය හා සිහිමද ගතියෙන් පෙලෙන සංජය යථාතත්වයට පත්වන්නේ කට්‍ටඩියෙකු විසින් ආරක්ෂා නූලක් දැමීමෙන් පසුවයි. 

 

 

ඔහු විසින් නිවැසියන් වෙනුවෙන් ගෙනා ඌරුමස් පාර්සලය බෑගයේ නොතිබුණ බවත් එය කිසිවෙකු විසින් මදක් ආහාරයට ගෙන කුණුවී කන්දෙ ආතාගෙ සොහොන මත තිබී සංජයගේ සහෝදරයෙක් සොයාගෙන තිබුණේ සංජය හමුවුන දිනමයි. අදටත් සංජය එම සිද්ධිය විස්තර කරන්නේ ඔහු ජීවිතයේ වඩාත්ම බියට පත්වූ සිද්ධිය ලෙසයි.

views

750 Views

Comments

arrow-up