නැවතත් හිස ඔසවන වාලච්චේන කඩදාසි කම්හල
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
08

නැවතත් හිස ඔසවන වාලච්චේන කඩදාසි කම්හල

නැවතත් හිස ඔසවන වාලච්චේන කඩදාසි කම්හල

වාලච්චේන කඩදාසි කම්හල අක්කර 350 ක් පමණ සුවිශාල භූමියක ස්ථාපිත කොට ඇත්තේ 1951 සැප්තැම්බර් 12 වැනිදාය. එහි නිෂ්පාදන කටයුතු 1956 සිට සිදුකොට තිබේ. කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පිදුරු පහසුවෙන්ම සපයා ගැනීමට හැකිවීම මෙම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමට හේතු වී ඇති බවට නොයෙක් මූලාශ්‍ර වල සදහන් වේ. ආරම්භයේදී වර්ෂයකට කඩදාසි මෙට්‍රික් ටොන් 3750 ක් නිෂ්පාදනය කිරීම ඉලක්කය වුවද එය 30, 000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබුණි. ඒ අනුව කර්මාන්ත සහ ධීවර කටයුතු අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතා 1966 සැප්තැම්බර් 29 වැනිදා එය විවෘත කොට ඇති බව එහි සමරු ඵලකවල දැක්වේ.
එහි සිවිල් සහ ඉදිකිරීම් කාර්යයන් ලංකා රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථාවේ සභාපති ඒ. එන්. එස්. කුලසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සිදුවී ඇති බවත් යන්ත්‍රෝපකරණ සැපයීම් සහ සවි කිරීම බටහිර ජර්මනියේ j. m. වොයික් සමාගම මගින් කර ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

කඩදාසි නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන යන්ත්‍රසූත්‍ර සියල්ල එකල ජර්මනියෙන් නොමිලේ ලැබී ඇත. එහි ඇති කඩදාසි කපන කුඩා යන්ත්‍රයක පවා අද වටිනාකම මරිකන් ඩොලර් ලක්ෂ 4 ක් බවත් මේ යන්ත්‍ර සියල්ලම යකඩ වටිනාකම රුපියල් බිලියන ගණනක් විය හැකි බවත් සඳහන් වෙයි. වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි ගොඩනැගීමේ කර්තව්‍යයට පාර්ශව ගණනාවක් සහය දෙමින් සිටී. ඔවුන් අතර යුද හමුදාවත් නාවික හමුදාවත් දෙන සහය සුවිශේෂී වේ. වාලච්චේන කඩදාසි සමාගමේ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා විදුලි බලය ගැනීමට මාසයකට රුපියල් ලක්ෂ 55 ක් වැනි විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. එහෙත් එය රුපියල් ලක්ෂ පහළොවත් විස්සත් අතර මුදලකට අඩු කිරීම මෙහි සිදු කෙරෙමින් පවතින අලුත්වැඩියා කිරීම් වලින් පසුව බලාපොරොත්තු වේ.

තවද මෙහි බොයිලේරුව ක්‍රියාකරන්නේ දහයියා වලින් නිසා ඊට අධික පිරිවැයක් දැරීමට සිදුවී තිබේ. රුපියල් මිලියන 25 ක් වැය කර නව බොයිලේරුවක් මිලදී ගැනීම වෙනුවට එය දරවලින් ක්‍රියාත්මක කළ හැකි ලෙස සකස් කර ගැනීමට කටයුතු කරමින් සිටී. ඒ සඳහා රුපියල් ලක්ෂ 22 ක පමණ මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ විශාල ජල පොම්පාගාරයක් ඉදිකොට තිබේ. දෛනිකව ජලය ලීටර් ලක්ෂ 3. 1 ක් අවශ්‍ය වීම එවැනි විශාල පොම්පාගාරයක් ඉදිකිරීමට හේතු වී ඇත. ඒ සඳහා කිලෝමීටර් 11 ක් දුරින් පිහිටි වාකනේරි ජලාශයේ සිට අඟල් 18 ක විශ්කම්භයකින් යුතු නලයකින් ජලය පොම්ප කරනු ලැබේ. වාලච්චේන කඩදාසි සමාගමේ කඩදාසි නිෂ්පාදනය 1996 වනවිට උපරිම මට්ටමකට පැමිණ තිබිණි. තවද ඒ වන විට එහි සේවක පිරිස 3600ක් වූ බවද සඳහන්. අනතුරුව එය වසරින් වසර පාඩු ලබන තත්ත්වයකට පත්වී 2014දී සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි. කඩදාසි ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා ඉවතලන කඩදාසි ටොන් 1. 2 ක් අවශ්‍ය වේ. එසේ ඉවතලන කඩදාසි ගෙන ඒමට සහ නිෂ්පාදිත කඩදාසි ප්‍රවාහනයට වාලච්චේන කර්මාන්තශාලා පරිශ්‍රයෙහි එකල දුම්රිය මාර්ගයක්ද සකස් කොට තිබීම විශේෂත්වයකි.

දැන් මෙම කර්මාන්තශාලාව මුළුමනින්ම අලූත්වැඩියා කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත. රජයේ සංඛ්‍යාලේඛන අනුව වසරකට විවිධාකාරයේ කඩදාසි ආනයනය කිරීමට රුපියල් මිලියන 99, 000 ක් පමණ වැය කරයි. මෙම කර්මාන්ත ශාලාව නැවත ගොඩ නැංවිය හැකි නම් එම ආනයන ප්‍රමාණයෙන් කිසියම් හෝ ප්‍රමාණයක් අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ඒ අනුව නව සේවක පිරිසකගේ සහාය ලබාගෙන ඉදිරියේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

 

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1011 Views

Comments

arrow-up