ඉන්දීය කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් - විදේශ ඇමති ජයිශංකර් ජනපතිට කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

ඉන්දීය කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් - විදේශ ඇමති ජයිශංකර් ජනපතිට කියයි

ඉන්දීය කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් - විදේශ ඇමති ජයිශංකර් ජනපතිට කියයි

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවසීය .

 

දෙදින චාරිකාවක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය ඇමතිවරයා අද (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු විය.

 

අනතුරුව පැවති සාකච්ඡාවේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපතිතුමා ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු, ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව දැන්වීය.

 

සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ආචාර්ය ජයිශංකර් මහතා පොරොන්දු විය.

 

ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපතිතුමා සහ ඉන්දීය ඇමතිවරයා එකඟත්වය පළ කළහ.

 

ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡාවේ දී හඳුනා ගනු ලැබීය.

 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG (ද්‍රව, ස්වභාවික වායු ) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර විය.

 

විධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ ජනහගණයක් ශ්‍රී ලංකාවේ සිටින බව සදහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඔවුනට විවිධ ක්ෂේත්‍රවල ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් දීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

 

ශ්‍රී ලංකාවේ නිශ්චිත අවශ්‍යතා දැනුම් දුන් විට වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා උදව් කිරීමට සූදානම් බව ජයිශංකර් මහතා කීය.

 

විකල්ප බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය තාපය භාවිත කිරීම පිණිස දැනටමත් ඉන්දීය ආධාර ලැබී තිබේ.

 

ඉදිරි කාලයේ දී මේ ක්ෂේත්‍රයට තවදුරටත් මූල්‍ය හා තාක්ෂණික ආධාර සම්පාදනයට ඉන්දියාවට පිළිවන් යයි ඇමතිවරයා සඳහන් කළේය.

 

කොවිඩ් 19 වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමේ අවශ්‍යතාව ගැන දෙපාර්ශ්වය අදහස් හවුමාරු කර ගත්හ.

 

“මාලදිවයින බබල් ක්‍රමවේදයට සංචාරකයන් ගෙන්වා ගැනීම දිගටම කරමින් සිටිනවා.

ඉන්දියානුවන් විශාල පිරිසක් දැනටමත් එහි ගිහින්. වසංගතය නිසා ඇතිවූ ආතිතයෙන් මිදීමට සංචාරයේ නිරතවීමට ජනතාව කැමැතියි.

නව දිල්ලි නුවර හෝටල් දැන් ඉන්දියානුවන්ගෙන් පිරී ගිහින්.

ශ්‍රී ලංකාවට යන ලෙස ඔවුන් දිරි ගන්වන්න අපිට පිළිවන්”,

ඉන්දීය ඇමතිවරයා පැවසීය.

 

සංචාරක ව්‍යාපාරයේ පුනරුදය පිණිස ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කරනු පිණිස ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මණින් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරිණ.

 

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යාංශයේ සම ලේකම්වරුන් වන අමිත් නාරං සහ ආචාර්ය ශිල්පක් අම්බුලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසූන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුද සාකච්ඡාවට එක්ව සිටියහ.

 

 

 

views

503 Views

Comments

arrow-up