කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියකුගෙන් කොරෝනා වයිරසය ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා ඔහුට මුලික ප්‍රතිකාර කළ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
එම ඒකකය සම්පුර්ණයෙන්ම වසා දමා විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය .
මෙම පුද්ගලයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවන කොරෝනා ආසාදිතයා හඳුනාගත් කටුපොත ප්‍රදේශයට යාබදව පිහිටි සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත . ඔහු ඒ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කරගන්නා හදිසි ප්‍රතිකාර ඒකකයේ බොහෝ වේලාවක් ගතකර තිබූ බවද එහි ක්‍රියාත්මක එක්ස් කිරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය .
මෙම සැකසහිත තත්ත්වය හමුවේ ඔහු කොරෝනා රෝගියෙකුදැයි හඳුනා ගැනීම සඳහා රෝහලේ කොරෝනා රෝග ප්‍රතිකාර ඒකකයට ඇතළත් කළ බවද ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාව ලැබෙනතෙක් සැකසහිත බැවින් ඔහුට ප්‍රතිකාර කළ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා 24ක් පමණ වන එහි සම්පුර්ණ කාර්ය මණ්ඩලයම ඉවත් කළ බවද ඒ මහතා පැවසීය .
මෙම පුද්ගලයා තමන්ට උණ සහිත රෝගී තත්ත්වයක් තිබෙන බව සඟවා වෙනත් රෝගී තත්ත්වයන් පවසා ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.
748 Views
Comments