මද්‍රසා පාසැල් නීතිගත කිරීමට නිර්දේශ කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක්

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සාමාන්‍ය පාසැල් පද්ධතියට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.
මේ අනුව මද්‍රසා ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමට මීට පෙර ඉදිරිපත්වු යෝජනාව ප්‍රතික්ෂේප කරන මෙම කමිටුව මද්‍රසා පාසැල් ක්‍රියාත්මක විය යුත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමෙන් පසු මවුලවිවරුන්ගේ අධ්‍යාපනය සදහා පමණක් බව යෝජනා කර ඇත.
එසේම මද්‍රසා ආයතන නියාමනය සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමද මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.
තවද සියලු ඉස්ලාමීය අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ.
මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම, විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,මුස්ලිම් සිවිල් සමාජය බල ගැන්වීම, වකුෆ් පනත් සංශෝධනය කිරීම, අන්තර් ආගමික සහජීවනය තහවුරු වන පිරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම්පාසැල් ඉදිකොට පවත්වා ගෙන යාම, සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් 14කට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.
806 Views
Comments