දෙහිවල පාලම යට චිත‍්‍ර සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

දෙහිවල පාලම යට චිත‍්‍ර සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්

දෙහිවල පාලම යට චිත‍්‍ර සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්

දෙහිවල ගුවන් පාලම යට කොටසේ ඇද ඇති චිත‍්‍ර සම්බන්ධයෙන් සමස්ථ ලංකා යතුරු පැදි සංගමය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එහි සභාපතිවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල මෙහි දැක්වෙයි.

 

ගරු. වැඩබලන පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

 

ගරු පොලිස්පතිතුමනි,

 

හදිසි / වැදගත් – දෙහිවල ගුවන් පාලම යට පිහිටි මාර්ග අනතුරු ඇඟවීම් විනාශ කිරීම

 

දෙහිවල ගුවන් පාලම යට මංසන්ධියේ, මාර්ග මත එහි ආධාරක කණු කීපයක් ඇති අතර ඒවා දෙකක් බැගින් වටකර බැමි කීපයක් මාර්ගය මත පිහිටුවා ඇත.

 

යම් වේගයකින් හෝ අඩු අවධානයකින් ගමන් ගන්නා රියදුරෙකුට එම බැමිවල ගැටීමේ අවධානම අඩු කිරීම සඳහා, මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විද්‍යාත්මක සම්මතයන්ට අනුව යමින් ඒවා කැපී පෙනෙන ලෙස මාර්ගයෙන් වෙන්කොට පෙන්වීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම බැමි ඉදිරිපස සම්පූර්ණයෙන් හැසඩ් මෝස්තර රටාවක් (Hazard pattern) ඇඳ තිබුණි.

 

ප්‍රභේදය (contrast) හෝ අවධානය අඩු අවස්ථාවක දී පවා, ගුවන් පාලමේ බැමි හා කණු දෙක අතරින් ගමන් මාර්ගයක් නොමැති බව පැහැදිලිව පෙන්වීමට හා එකී ඉදිකිරීමේ අවධානම දුර තියා පැහැදිලිව පෙන්වීමට එම හැසඩ් මෝස්තර රටාව ඉවහල් වේ.

 

එකී කලු හා කහ මෝස්තර රටාව මැද සිට දෙපසට විහිද යන ආකාරයෙන් ඇඳ තිබුණේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අන්තර්ජාතිකව පිලිගත් විද්‍යාත්මක නියමයන්ට අනුවය. මන්ද, එය හදිසි අවස්ථාවක දී දෙපසට කැපීමේ තීරණයක් ගැනීමට රියදුරුන්ට එය සහය වන අතර, පාලම යට අඳුරු ස්ථානයක් බැවින් මාර්ග හරහා පැනීමට නියමිත/හදිසියේ දුව එන පදිකයින් දුර තියා කැපී පෙනෙන ආකාරයෙන් පෙන්වීමට එය රුයදුරන්ට සහය වනු ඇත.

 

විය හැකි බරපතළම තත්ත්වයට (worst case scenario) මාර්ග සූදානම් කිරීමට මහජන මුදල් යොදවමින් මෙරට මහජනතාවගේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙහිවල ගුවන් පාලම යට මංසන්ධිය දෙපස පිහිටුවා ඇති බැමි මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඇඳ තිබූ එකී මෝස්තර රටාවේ අරමුණු හා විද්‍යාත්මක පසුබිම ඉවත දමමින්, පසුගිය දින කීපය තුල දී පිරිසක් විසින් එහි වැදගත් වූ මැද කොටස මකා දමා ඒ වෙනුවට ඒවා මැද චිත්‍ර ඇඳීමට කටයුතු කර ඇත. එතුලින් ගුවන් පාලම යට පිහිටි මාර්ග අනතුරු එකී ඇඟවීම් විනාශ කිරීමට සහා හෝ විකෘති කිරීමට එම පිරිස කටයුතු කර ඇත. එම හැසඩ් මෝස්තර රටාවේ දෙපස පමණක් ඉතිරි කර ඇත.
ගරු පොලිස්පතිතුමනි,

 

1. යම් වේගයකින් ගමන් ගන්නා රියදුරෙකුට එකී චිත්‍රයෙ ඇති රටාවන් මගින් විද්‍යාත්මක නියමයන්ට අනුව අනතුරු ඇඟවීමක් හෝ කැපී පෙනීමක් සිදු නොවේ. එක් චිත්‍රයක අඳුරු වර්ණ භාවිතාවක් දක්නට ලැබේ.

 

2. එමෙන්ම දෙපස පමණක් අදාළ හැසඩ් මෝස්තර තිබීම හේතුවෙන් දුර සිට එන රියදුරෙකුට එම බැම්මේ නිර්මාණය හා අවදානම ගැන නිසියාකාරව දැනුවත් වන්නෙ නැත. නොමග යැවීමක් සිදුවිය හැක.

 

3. එක් චිත්‍රයක් තුල මිනිසුන් සිටිනා ආකාරයෙන් ඇඳ ඇති අතර, එය පදික මාරුව පසුබිම් කර ඇත. යම් වේගයකින් හෝ අඩු අවධානයකින් ගමන් ගන්නා රියදුරෙකුට පදිකයින් හා චිත්‍ර අතර යම් ව්‍යාකූලතාවක් ඇතිවී ඉතාමත් භයානක තත්ත්වයක් ද ඉන් ඇති විය හැක.

 

4. චිත්‍ර රාත්‍රියේ දී දිලිසෙන තීන්ත (retro-reflective paint) යොදා සිදු කර ඇති බවට කීවද, එහි කිසිදු ප්‍රමිතියක් හෝ සෑහීමකට පත්විය හැකි දිලිසීමක් නොමැත. එමෙන්, විද්‍යාත්මක සම්මතයන්ට අනුකූලව කෙරෙන අනතුරු ඇඟවීම් මෝස්තර රටාවලට චිත්‍ර මෝස්තර ආදේශ කිරීම පදනම් විරහිතය.

 

මාර්ග ආරක්ෂාවට පටහැනි මෙවැනි දේ සිදුවීමට ඉඩ දී බලා සිටීමට දිනපතා එහි සේවය කරනා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් මාගේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටිමි. මන්ද, ඉන් මෙරට මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් දක්වන අවධානම හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුමේ තත්ත්වය ඉතාමත් පැහැදිලිව රට ඉදිරියේ පෙන්වනු ඇත.

 

මේ සිද්ධිය සම්බන්ධයෙන් මා මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ එන්ජිනේරු කාර්යාලයෙන් දුරකථනය හරහා කල විමසීමක දී ඔවුන් සඳහන් කර සිටියේ එකී චිත්‍ර ඇඳීමට ඔවුන් අවසරයක් ලබාදී නොමැති බවයි.

 

අතිගරු ජනාධිපතිවරයාගේ සංකල්පය වුයේ “විනයක් නොමැතිව නිදහසක් ලැබෙන්නේ කෙසේද?” යන්නයි. මාර්ගයේ තාප්පවල චිත්‍ර ඇඳීමට තරුණයන්ට නිදහස තිබිය යුතු නමුත්, චිත්‍රවල අන්තර්ගතයේ වගවීමක්, චිත්‍රය ඇඳීමේ ස්ථානය ගැන යම් වගවීමක් තිබිය යුතුය. මාර්ග ආරක්ෂාවේ අනතුරු ඇඟවීමේ මෝස්තර රටාවලට චිත්‍ර පටලාවා ගැනීම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කිසිවෙකුට අනුමත කර නොහැක.

 

මේ අනුව :-

අ. දෙහිවල ගුවන් පාලම යට මංසන්ධියේ පදික මාරු පසක ඇති ගුවන් පාලමේ බැමි මත නැවත අදාළ සම්මත අනතුරු ඇඟවීමේ හැසඩ් මෝස්තර රටාව නැවත ස්ථාපනය කරවීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසත්

 

ආ. සිදුවීම තුල රටේ නීතිය උල්ලංඝණය වීමක් සිදුවී ඇත්නම් විමර්ශනයක් පවත්වා ඊට එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙසත්,

 

ඇ. රටේ වෙනත් ස්ථානවල ප්‍රදේශයවල ද මෙවැනි දේ සිදුවීම වැලැක්වීමට තරුණයන් සමග සහයෝගයෙන් යම් නිශ්චිත යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත්,

 

ඈ. මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සම්මතයන්ට පටහැණිව යන මේ කටයුත්ත සඳහා යමෙක් අවසර ලාබ දීමට කටයුතු කර ඇත්නම්, එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මා ඉල්ලා සිටිමි.

 

මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ

views

749 Views

Comments

arrow-up