කම්කරුවන් වෙනුවෙන් කැපවුණු ෂන්මුගදාසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

කම්කරුවන් වෙනුවෙන් කැපවුණු ෂන්මුගදාසන්

 කම්කරුවන් වෙනුවෙන් කැපවුණු ෂන්මුගදාසන්

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේත් පෙරමුණේ සිටි නායකයෙක් වූ එන් ෂන්මුගදාසන් උපත ලැබුවේ 1920 වර්ෂයේදී ය. ඔහුගේ මවුපියන් යාපනයේ manipai නගරයේ ජීවත් වූහ. ෂන්ගේ මවුපියන්ට සාමාන්‍ය දේපොලක් තිබුණු අතර කුඩා කල සිටම ෂන් ඉගෙනීමට දක්ෂයෙකු විය. කොළඹ විශ්වවිද්‍යාලයට 1938දී ඇතුළත් වුණු ඔහු ඉතිහාසය හැදෑරීමට පටන් ගත්තේය. ඒ අතර ඔහු කොමියුනිස්ට් නායකයන් හා අනෙකුත් වාමාංශික නායකයන් ඇසුරු කිරීමටද පුරුදු විය. 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භය සමඟ ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන ශිෂ්‍ය නායකයෙකු වූ ඔහු දෙවන ලෝක සංග්‍රාමය ආරම්භයත් සමග විශ්වවිද්‍යාලය තුළ අධිරාජ්‍ය විරෝධී දේශපාලන පත්‍රිකා බෙදා හැරීමට පටන් ගත් හෙයින් කිහිප වතාවක් විශ්වවිද්‍යාල අධිකාරීන් ගෙන් දඬුවම් ලැබුණි. සටන්කාමී දේශපාලන කටයුතුවල නිරත වුණු නිසා ඔහු කෙටි කලකින්ම සිසුන් අතර ආදරයට පත් විය.

උතුරේ එල්ටීටීඊ සංවිධානය හිස එසවීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒ ප්‍රදේශයේ පැවති උග්‍ර කුලවාදය බවට සමහර දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. අඩු කුලයට අයත් සම්මත ජනයාට උසස් කුලයට අයත් සම්මත ජනයා යන එන කෝවිල් වලට ඇතුලත්වීමේ තහනමක් පැවතිණි. මෙවැනි කෝවිලක් වූයේ උතුරේ mavidhipuram කෝවිලයි. උතුරේ කුල භේදයට විරුද්ධව උග්‍ර සටනක් කළ ඔහු 1968 වර්ෂයේදී අඩු කුලයේ යැයි සම්මත අති විශාල ජනකායක් පිරිවරාගෙන එම කෝවිලට ප්‍රවේශ වීම නිසා ගැටුමක් ඇති විය. උපතින්ම සටන්කාමියෙකු වූ ඔහු සටන අත්හැරියේ නැත. මේ නිසා පොලිසිය කැඳවීමට සිදු විය. මෙම සමාජ අරගලයේ දී කැපී පෙනුණු ලක්ෂණයක් නම් ෆෙඩරල් පක්ෂයේ නායකයන් සටනින් කර හැරීමයි. මෙහිදී පෙඩරල් නායකයන් විසින් ගනු ලැබුවේ අඩු කුලයේ යැයි සම්මත ජනයාගේ පැත්ත නොව උසස් කුලයේ යැයි සම්මත ජනයාගේ පැත්තයි. කෝවිල වටා සමාජ අරගලය උග්‍ර වූ නිසාවෙන් ඒ අවදියේදී අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිට නියෝගයක් දුන්නේය. එනම් කෝවිල අඩු කුලයේ යැයි සම්මත ජනයාටද පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු බවයි. එතැන් සිට එම කෝවිල සියලු දෙනාට විවෘත විය.

 

 

 


මාඕ චින්තනය කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කළ ඔහු පසු කාලයකදී වෙනම සංවිධානයක් පිහිටුවා ගත්තත් එය සාර්ථක නොවීය. ගාමිණී යාපා දියත්කල පෙරදිග සුළඟ සංවිධානය සමග ද ෂන් විවිධ සබඳතා පැවැත්වූ බවට මතවාද පවතී. 1971 කැරැල්ල සමයේදී අභූත චෝදනා මත ඔහු සිරභාරයට ගනු ලැබීය. ෂන් සිය සමස්ත දේශපාලන ජීවිතයම ගත කළේ කොමියුනිස්ට් සමාජයක උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීමටයි. මියෙන ජීවිතය නොමියෙන දේශපාලන දර්ශනය වූ මාක්ස් ලෙනින්වාදයට ආදර්ශමත් ලෙස කැප කළ ඔහුගේ හදවත 1993 වර්ෂයේදී පෙබරවාරි මස 8වන දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සදහටම නිහඬ විය. ඇත්තෙන්ම ඔහු කම්කරුවන් වෙනුවෙන් කැපවුණු ශ්‍රේෂ්ඨ මිනිසෙකි.

 

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

350 Views

Comments

arrow-up