ඓතිහාසික රන්දෙණිවෙල සටන
ශ්‍රී ලංකාවේ සිදු වූ ඓතිහාසික සටන් අතර මීට වසර 389 කට පමණ පෙර රන්දෙණිවෙලේ සිදු වූ ඓතිහාසික සටනට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. ඒ දිවයිනේ වසර නවයක් ආණ්ඩුකාර ධූරය දැරූ දොන් කුස්තන්තිනුද සා නැමැති සෙන්පතියා ඇතුළු පෘතුගීසි භටයන් තුන් දහස් පන්සියයකට අධික පිරිසක් මහා අස්ථානෙ කුමරු ලෙස සටනට නායකත්වය දෙමින් පසුව රජකමට පත් වූ දෙවැනි රාජසිංහ රජු ඇතුළු සිංහල හේවායන් අතින් සමූල ඝාතනය වන්නේ මෙම ස්ථානයේදී බැවින්.
වැල්ලවාය ඇල්ල මාර්ගයේ රන්දෙණිය මංසන්ධියෙන් මෙම ඓතිහාසික සටන සිහිවීම පිණිස ස්මාරකයක් ඉදිකර ඇති අතර එය පිහිටුවා ඇත්තේ වර්ෂ 1963 වසරේ පෙබරවාරි මස 4 වැනිදා. එම ඓතිහාසික සටන සිහිවනු වස් ඉදිකර ඇති ස්මාරකය අභියස ත්‍රෛයිභාෂාවෙන් ලියැවුණු ඒ ජයග්‍රාහී ඓතිහාසික කතා පුවත රැගත් ඵලකයක්ද ප්‍රතිෂ්ඨාපනය කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මේ අයුරින්. දෙවැනි රාජසිංහ නමින් පසුව රජ පැමිණි කන්ද උඩරට මහා අස්ථානෙ කුමරුන් විසින් මෙසේ යවන ලද සිංහලෙ සේනාවෝ ක්‍රිස්තු වර්ෂ 1630 අගෝස්තු මස 25 වැනි දා පෙරවරුවේ මේ අසල දී දොන් කුස්තන්තිනුද සා යටතේ වූ ප්‍රතිකාල් බලයෙ ඒකාබද්ධ සේනාංකය පරාජයට පත් කළහ යනුවෙන්.
මෙය සිංහල ජාතියේ උදාරතර වූ ද ඓතිහාසික වූද සටනක් වන්නේ ප්‍රතිකාල් දේශපාලන බලයට රන්දෙණිවෙලදී ලැබුණු මරු පහර ක්‍රිස්තු වර්ෂ 1658 දී දෙවැනි රාජසිංහ රජතුමා සහ එතුමන්ගේ මිත්‍ර සේනා විසින් ප්‍රතිකාලුන් මෙරටින් සහමුලින්ම නෙරපා දමනු ලැබීමට තුඩුදුන් නිසාවෙන්. ලක්දිව ප්‍රතිකාලුන් යටතේ පැවති ප්‍රදේශවල නව ආණ්ඩුකාර ධූරය දැරූ දොන් කුස්තන්තිනුද සා මෙම සටනේදී ජීවිතක්ෂයට පත් කෙරිණි. 1630 වසරේ ගෝස්තු මස 25 වැනි දින පෙරවරුවේ එවැනි ශ්‍රේෂ්ඨ සටනක් සිදු වූ ස්ථානයක් සිහිවීම වෙනුවෙන් 1963 වසරේ දී ඉදිකරන ලද ස්මාරකය වටා ඇති කතා පුවත අදටත් මහා යුද සංග්‍රාමයක මතකය අවදි කරන්නට සමත් වේ.
ඌව ආක්‍රමණය කිරීමට ආසන්නතම සිද්ධිය වන්නේ කන්ද උඩරට රජු වූ සෙනරත් රජු සහ පෘතුගීසින් අතර ඇතිවූ එකගතා වල ඇති වූ පළුද්දක්. ඒ මන්ද යත් පෘතුගීසීන් විසින් ත්‍රිකුණාමලය සහ මඩකලපුව ආශ්‍රිතව තවත් බලකොටු දෙකක් නිර්මාණය කිරීමත් සමග ඇතිවූ ආරවුල මෙම ආක්‍රමණයට ප්‍රධානතම හේතුව විය. මෙයින් කිපුණු සෙනරත් රජු පෘතුගීසි පාලනය යටතේ තිබූ සපරගමුවට පහර දුන්හ. ඒ අවසරයෙන් පෘතුගීසීන් ද ඉදල්ගස්හින්න කපොල්ලෙන් ඌවට ඇතුළු වී ඌවේ අගනගරය වූ බදුල්ල නගරය ගිනිබත් කරන්නේ පළියට පළිය ගනිමින්. මෙම ආක්‍රමණය සම්බන්ධයෙන් තොරතුරු කල්පනා දැන ගන්නා සෙනරත් රජු තම පුතුන් තිදෙනා වන විජයපාල කුමාරසිංහ සහ කුමර රාජසිංහ ඌවට එවන්නේ දහස් ගණනක සේනාවක් ද සමගින්. ඔවුන් රන්දෙණිවෙල ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන ඇති අතර බදුල්ල විනාශ කර එන අවස්ථාවේ මේ ස්ථානයේදී දරුණු සටනක් ඇතිවී තිබේ. එවැනි අභිමානවත් සටනක් සිදු වූ ස්ථානය මේ වන විට ජරාවාස වෙමින් තිබීම සැබැවින්ම ජාතියේ අවාසනාවක්. ලක් දෙරණින් පෘතුගීසීන් පලවා හැරීමේ සටනට නායකත්වය දුන් පෘතුගීසීන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ රන්දෙණිවෙල සටනට වටිනාකමක් එක් කිරීම ජාතියේ යුතුකමක් සහ වගකීමක්.
by Dilki Shamani
Photo source: Internet
5339 Views
Comments