පාස්කු ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනා මිය ගිය අම්මාගේ අනුවේදනීය ෆේස්බුක් සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

පාස්කු ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනා මිය ගිය අම්මාගේ අනුවේදනීය ෆේස්බුක් සටහන

පාස්කු ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනා මිය ගිය අම්මාගේ අනුවේදනීය ෆේස්බුක් සටහන

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කටුවපිටිය දේවස්ථානය තුළ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකු බෝම්බ ප්‍රහාරයට ගොදුරුව මියයාම කාගේත් සිත් කම්පාවට පත්කළා.

 

දරුවන්ගේ සහ ස්වාමියාගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්ව සිටින නිරංජලී යසවර්ධන මහත්මිය ඉතාමත් සංවේදී සටහනක් ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනු දැක ගන්නට ලැබුනා.

 

ඇය තැබූ සටහන පහතින්

 

දසමාසයක් කුස දරාගෙන බිහිකළෙමි දියණියන් දෙදෙනෙකු, කෙළි සිනා හුරතල් වදන් මැද ඇතිදැඩි උනා මගේ උණුසුමේ , දක්ෂතා පිරි ගුණදහම් ඇති ඔයාලා දෙන්නා තාත්තාගේ මගේ ලෝකය එළිය කලා, නෙත්මි, විශ්මි, මගේ දරුවනේ, ඔයාලගෙන් නික්මුණ කිරි සුවඳ අදත් මට දැනෙනවා.

 

 

දන්නවද ඔයාලා දෙන්නා අම්මත් එක්ක බැදුණු ඒ පෙකණි වැල් වත් විනාශ වෙලා නෑ, ඔයාලා ඉපදෙනකොට තිබුණු ඒ සිනිදු කොණ්ඩේ තාමත් අම්මා ගාවමයි,

 

 

ඒත් සතුටින් පල්ලියට ගිය අපිව අපෙන් වෙන්කලා පුතේ අමානුෂික විදියට, අපේ රටේ වගකිවයුතු ගොඩාක් දෙනෙක් දැනුවත්වමයි පුතේ ඔයාලව මරලා දැම්මේ,

 

අම්මාකෙනෙක්ගෙන් බිහිවෙලා මව්කිරි බීලම හැදුණු තිරිසන්නු ඔයාලව මගෙන් වෙන්කලා, මම එහෙම කීවොත් තිරිසන් සත්තු මට බනීවි පුතේ ඊටත් වඩා පහත් ගති ඇති උන්, උඹලාව මැරුවේ, මේක මිණීමැරුමක්,

 

ඒත් ඇස්පනාපිටම සමහර දේවල් තියෙද්දී බල තණ්හාවෙන් අන්ධ වෙච්චි ජරාජීර්ණ උන අසික්කිත දේශපාලකයන්ට බැරිඋනා උඹලව මරපු මිණීමරුවෝ අල්ලන්න, මම මෙහෙම ලියන එකත් උන්ට දර දිය අදින වහල්ලුන්ට රිදෙනවා ,ඒ හන්දා ඉවසන්න හිත හදාගන්න කියනවා, උඹලා නැතුව හදාගන්න හිතක් අද මගේ ගාව ඉතුරුවෙලා නෑ,

 

අම්මාව ආදරෙන් බලාගන්න අම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්න බලාගෙන ඔයාලා ඉගෙනගත්තේ කියලා මට කිව්වේ ඔයාලගේ යාළුවෝ, ඒවා අහනකොට කොහොමද මම දරාගෙන ඉන්නේ, ඔය පොඩි වයසට අම්මා ගැන ඔච්චර හිතුවට ඔයාලට ගොඩාක් පිං,

 

ලොකූ, පොඩ්ඩියේ තාත්තා ඉන්න නිසා ඔයාලා සතුටින් ජේසු ගාව ඉන්න, ඔයාලා නැති පාළුව, වේදනාව, දුක දරාගන්න අම්මට ශක්තිය දෙන්න කියලා ජේසු ලග මැදිහත් වෙන්න, ඔයාලා ඉන්න තැනකට ඉක්මනින්ම එන්න ආසයි පුතේ, ඔයාලව දකින්න එන එකයි මගේ එකම බලාපොරොත්තුව, ඔයාලට ගොඩාක් ආදරෙයි.

views

2592 Views

Comments

arrow-up